spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෞද්ධ සංචාරකයින් ප්‍රවර්ධනය කරන පාකිස්ථානය

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය – රටේ නිල නාමයයි.

නමුත් අතීත මහා භාරතයේ කොටසක් වූ මෙහි සැලකිව යුතු බෞද්ධ පුරාවස්තු ප්‍රමාණයක් සැඟව තිබෙන අතරම බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම්වලට අදාළ ඇතැම් ස්ථාන අද භූගෝලීයව අයත් වන්නේ පාකිස්ථානයටයි.

මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය සහ සැලකිව යුතු බෞද්ධ ජනගහනයක් සිටින අනෙකුත් අග්නිදිග ආසියානු රාජ්‍යයන් ඉලක්ක කර ගනිමින් පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානය දකුණු ආසියා කලාපයේ නැගී එන බෞද්ධ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් වේගවත් කර තිබෙනවා.

නිදසුනක් වශයෙන් 2016 වසරේ අප්‍රේල් මාසයේ දී පාකිස්ථානය සිය ගන්ධාර කලා පාසල, තක්ෂිලා කෞතුකාගාරය සහ වෙනත් බෞද්ධ උරුමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරට භික්ෂූන් වහන්සේ 40 නමක් එරටට වැඩම කරවනු ලැබුවා.

පාකිස්ථානය උත්සාහ කරන්නේ ලෝකයේ වැඩිම බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවස්තු සංරක්ෂණය කර ඇති “මුස්ලිම් රටක” ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි.

නමුත් ඔවුන්ගේ සැබෑ උත්සාහය මේ හරහා වාර්ගික හා ආගමික සුළුතරයන්ට පාකිස්ථානය තුළ සිදුවන අපරාධවලින් නිදහස් වීම බව විචාරකයින් පෙන්වා දෙනවා.

එමෙන්ම පාකිස්ථානය බෞද්ධ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (සාර්ක්) සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට (ආසියාන්) අයත් රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීම ද ඉස්ලාමාබාදයේ අරමුණක්.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව (CPEC) මාර්ගය ඔස්සේ ලාහෝර්, තක්ෂිලා සහ පෙෂාවර් යා කරන ‘ගන්ධාර මංපෙත’ පුනර්ජීවනය කරන ලෙස චීනය පකිස්ථානයෙන් ඉල්ලා සිටීමත් පාකිස්ථානය නව ප්‍රයත්නයට තවත් හේතුවක් ලෙස සැලකෙනවා.

එමෙන්ම දරුණු ආර්ථික තත්ත්වයකට මුහුණ දී සිටින පාකිස්ථානයට බුදුදහම කේන්ද්‍ර කරගත් සංචාරක ක්‍රියාකාරකම් හේතුවෙන් යම් විදේශ මුදල් ප්‍රමාණයක් රටට ලබා ගැනීමටත් ඉඩ ලැබෙනු ඇති.

බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පාකිස්ථානය මැයි මාසයේ දී සාර්ක් වැඩසටහනක් තක්ෂිලාහි දී සංවිධානය කරනු ඇතැයි වාර්තා පළවනවා.

පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය භූතානය, වියට්නාමය සහ මියන්මාරය වැනි රටවලින් තෝරාගත් සංචාරකයින් රටේ ප්‍රධාන බෞද්ධ ස්ථාන ප්‍රදර්ශනය කිරීම සඳහා ගෙන්වා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

ඊට අමතරව බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු කොරියාව, ජපානය සහ සිංගප්පූරුව යන රටවල සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (social media influencers) සම්බන්ධ කර ගැනීමට පාකිස්ථාන රජය සැලසුම් කරනවා.

කෙසේ වෙතත් අනාගමික රටක් ලෙස හුවා දැක්වීමට පාකිස්ථානය ගන්නා මෙම උත්සාහයන් රට තුළ ආගමික හා වාර්ගික සුළුතරයන්ට එරෙහිව දිනපතා සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධවලින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධනාය වෙනතකට යොමු කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිවෙත් පිළිබඳ වාර්ෂික වාර්තාවට අනුව, අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීම්, බලහත්කාරයෙන් විවාහ කිරීම් සහ සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරෙන මැර ප්‍රහාර ඇතුළු ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය 2023 දී පාකිස්ථානයේ අඛණ්ඩවය පැවතියා.

ඉස්ලාමාබාද්හි සමාජ සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානයට (CSJ) අනුව, පසුගිය වසරේ පාකිස්ථානයේ ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා 193ක් වාර්තා වී ඇති අතර සැබෑ සංඛ්‍යාව ඊට බොහෝ සෙයින් වැඩි යැයි විශ්වාස කෙරෙනවා.

පකිස්ථානයේ හින්දු, ක්‍රිස්තියානි, සීක්, බෞද්ධ යන විවිධ ආගමික සුළුතරයන්ගේ මූලික අයිතීන් සුරැකීමේ කිසිදු “වැඩිදියුණුවීමක්” සිදුවී නොමැති බව ප්‍රාදේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පවසා තිබුණා.

ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී අපරාධ නැවැත්වීමට පාකිස්ථානයේ දුර්වල ක්‍රියාකලාපය විවේචනය කරනු ලැබූ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව ප්‍රතික්ෂේප කළ ඉස්ලාමාබාද් බලධාරීන් පැවසුවේ වාර්තාවේ අන්තර්ගතය සාවද්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවයි.

කෙසේ වෙතත් පකිස්ථානයේ හින්දු සහ ක්‍රිස්තියානි සුළුතරයන් ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ වාර්තා කරන සමාජ මාධ්‍ය ගිණුම් සහ නාලික පාකිස්ථාන රාජ්‍ය හස්තයට යටතේ කෙරෙන බව රහසක් නොවේ.

රාජ්‍ය බලධාරීන් විසින් ට්විටර් ගිණුම් 279ක් හඳුනාගෙන ඇති බවට ගණන් බලා ඇති අතර, යූ ටියුබ් නාලිකා 31ක් සමඟ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් කිහිපයක් ද විමර්ශනය කෙරෙමින් තිබෙනවා.

Vlogs 200 ක සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණයක් පැවැත්වීමට පවා රජය සැලසුම් කර ඇතැයි සඳහන්.

මේ වසරේ පෙබරවාරි මාසයේ සිට Twitter රට තුළ තහනම් කර තිබීම විශේෂත්වයක්.

මෙම ක්‍රියා පාකිස්තානයේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවෙමින් පවතින අපරාධ ඉස්මතු කරන ස්වාධීන හඬවල් නිශ්ශබ්ද කිරීමට සහ හමුදා සංස්ථාපිතයේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට යොදා ගන්නා උපක්‍රම ලෙස සැලකෙනවා.

පිරිහෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිරන්තර ජාත්‍යන්තර විමර්ශනයට මුහුණ දෙන පාකිස්ථානය ලෝකය ඉදිරියේ වෙස් මුහුණක් ලෙස කයිබර් පක්තුන්ක්වා සහ පන්ජාබ් හි සමහර ප්‍රදේශවල ඊනියා ‘ගන්ධාර කොරිඩෝව’ නම් සංකල්පයක් පුනර්ජීවනය කිරීමට උත්සාහ කරමින් සිටිනවා.

ඒ අනුව පාකිස්ථානය බෞද්ධ ලෝකය හා සම්බන්ධ කිරීමේ පළමු පියවර ලෙස පසුගිය අප්‍රේල් 04 වැනිදා ගාන්ධාර කොරිඩෝ පනත ජාතික සභාවට ඉදිරිපත් කෙරුණා.

එම පනතට අනුව ගාන්ධාර කොරිඩෝවේ සියලු මෙහෙයුම් පාකිස්ථාන අගමැතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකුගෙන් යුත් කාර්යාලයක් මගින් සිදු කරනු ඇති.

නමුත් පාකිස්ථානය ඒ හරහා ව්‍යවස්ථාපිත අර්බුදයකට මුහුණ පා සිටිනවා.

කයිබර් පක්තුන්ක්වා (KP) ආණ්ඩුව පනතට දැඩි විරෝධයක් එල්ල කර ඇත්තේ, පළාත් කටයුතුවල දී “ෆෙඩරල් රජය සීමාව ඉක්මවා යාමක්” ලෙස හඳුන්වමින්.

පළාත් හිටපු පුරාවිද්‍යා අමාත්‍ය සයිඩ් අකිල් ෂා ද යෝජිත පනත විවේචනය කරමින් එය පළාත් ස්වයං පාලනයක් සහතික කරන පකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය උල්ලංඝනය කිරීමක් ලෙස ප්‍රකාශ කළා.

විශේෂයෙන් ගන්ධාර ශිෂ්ටාචාරයේ පුරාවස්තුවලින් සියයට 90ක්ම පාලනය කරන කයිබර් පක්තුන්ක්වා (KP) ආණ්ඩුව දැනටමත් ආදායම් උත්පාදනයේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර එහි සංවර්ධන වියදම් සඳහා අරමුදල් සපයන ලෙස ඉල්ලා සිටිනවා.

එසේ තිබිය දී ෆෙඩරල් රජය නව පනත ඔස්සේ උත්සාහ කරන්නේ යෝජිත බෞද්ධ කොරිඩෝවෙන් ලැබෙන සියලු ආදායම තමන් සතු කර ගැනීමට බවටයි චෝදනා එල්ල වන්නේ.

යෝජිත කොරිඩෝවේ හිමිකම් සම්බන්ධයෙන් ෆෙඩරල් ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර පවතින ගැටුම ඉදිරි මාසවල දී තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එපමණක් නොව, ගන්ධාර කොරිඩෝ පනතට සහ පකිස්ථානයේ සුළුතර ආගමකට විශේෂ අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් දේශීය ඉස්ලාමීය සංවිධානවලින් එන විරෝධය ද ප්‍රබල වනු නොඅනුමානයි.

මේ තුළ කේපී සහ පන්ජාබ්හි ආගමික සුළුතරයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වර්ධනය වනු ඇති බවට ද මත පලවනවා.

බෞද්ධ මංපෙත පුනර්ජීවනය කිරීමට උත්සාහ කළත්, ගිල්ගිට්-බල්ටිස්තානයේ ඩයමර් බෂා වේල්ල ඉදි කිරීමත් සමග ක්‍රිස්තු පූර්ව 8000ක් තරම් ඉතිහාසයකට දිවෙන බෞද්ධ ස්ථූප සහ බුදු පිළිම විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවනු ඇතැයි සැලකෙනවා.

මෙවැනි කාරණා සැලකීමේ, බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමේ පාකිස්ථානයේ සැලසුම කොතෙක් දුරට යථාර්තාවදී ද යන ප්‍රශ්නය මතු වනවා.

එය හුදෙක් ආගමික සුළුතරයන්ට එරෙහි අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ තවත් උත්සාහයක් නොවන බව බැහැර කර නොහැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?