බීමතින් දිවියෙක් බේරා ගන්න ගිය තරුණයාට දිවියාගෙන් ප්‍රහාරයක් (ඡායාරූප)

ගැඹුරු වළකට වැටි සිටි හඳුන් දිවියෙකු බේරා ගැනිමට උත්සහ කල තරුණයෙකුට එම හඳුන් දිවියා කළ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ කපා තිබූ ගැඹුරු වළකට වැටී සිටියදීයි මෙම හඳුන් දිවියා බේරා ගැනීමට අද (24) එම තරුණයා උත්සහ කර ඇත්තේ.

අනතුරුව එම තරුණයාට හඳුන් දිවියා පහරදී තුවාල සිදු කර ඇති බව දිඹුල පතන පොලිසිය ප්‍රකාශ කළා.

ගොදුරු සොයා පැමිණි හඳුන් දිවියෙකු ගැඹුරු වළකට වැටී සිටින ආකාරය දුටු ප්‍රදේශවාසින් ඒ සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසියට දැනුම් දී තිබුණා.

එලෙස දැනුම් දීමක් සිදු කර තිබියදී අධික ලෙස බීමත්ව සිටි තරුණයෙකු එම හඳුන් දිවියා බේරා ගැනීමට උත්සහ කිරීමේදී එම සත්වයා ඔහුට පහරදී ඇති බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබු තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හඳුන් දිවියා ගොඩට ඒමට උත්සහ කර ඇතත් වළේ ගැඹුර වැඩිවීම හමුවේ ගොඩට ඒමට නොහැකි වී ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

පසුව එම හඳුන් දිවියා බේරා ගැනිමට නුවරඑලිය වනජීවී කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.