අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය යොදා ගනිමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් (Early Warning System) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත් වුණා.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, ගල්ගමුව සහ ගිරිබාව ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මෙන්ම Huawei සමාගමේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
චීනයේ අලි-මිනිස් ගැටුම පැවති ප්‍රදේශවල මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්නා.
මෙම තාක්ෂණය මඟින් වන අලින්ගේ ශරීර ප්‍රමාණය සහ චලන රටා හඳුනාගැනීමට හැකි කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ කැමරා පද්ධති යොදා ගනිමින්, වන අලින් ගම්මානවලට ඇතුළු වීමට පෙර ඒ පිළිබඳව හඳුනාගෙන අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවුඩ මඟින් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට හැකියාව ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ භූ විෂමතාව, වන අලින්ගේ සංචරණ රටා, ගම්මානවලට ඇතුළු වන මාර්ග සහ කැමරා පද්ධති ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.
චීනයේ සාර්ථක අත්දැකීම් සහ නවීන තාක්ෂණික විසඳුම් ශ්‍රී ලංකාවේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි යොදා ගැනීමේ ප්‍රායෝගික හැකියාව සොයා බැලීම මෙම මූලික සාකච්ඡාවේ සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයේ අරමුණ වුණා.
