පෞද්ගලික නාලිකාවට දුන් සංචාරක ප්‍රවර්ධන මුදල් ගැන මුදල් කාරක සභාවට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
2026 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 3 දක්වා කොළඹදී පැවති ආසියා-පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් පෞද්ගලික මාධ්‍ය ජාලයකට අයත් සමාගමට රුපියල් මිලියන 104.6ක (රු. 104,603,876) අනුග්‍රාහක මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම පිළිබඳව සමාජයේ සහ දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) හරහා මෙම මුදල අනුග්‍රාහකත්වයක් ලෙස ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බවට වාර්තාවුණා.
මේ අතර, එවන් මුදලක් පෞද්ගලික නාලිකා සමාගමක් වෙත ලබාදීම බරපතල අක්‍රමිකතාවයක් බවට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සිදුව ඇති අක්රමිකතාව පිළිබඳව සිද්ධියට අදාල පෞද්ගලික නාලිකාවේ අධ්යක්ෂ මණ්ඩලය මුදල් කමිටුවට කැඳවිය යුතු බවටද සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය යෝජනා කර ඇති බවට වාර්තාවෙනවා.
ඒ අනුව එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය සෘජුවම මේ පිළිබඳව පොදු මුදල් කමිටුව හමුවේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටත්, ඊට අදාළව අවශ්‍ය විදිහට කටයුතු කිරීමටත් පියවර ගත යුතු බවටත් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
ඒ අනුව, මේ පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සහ මුදල් කමිටුව වෙත අදාළ කරුණු වාර්තා කිරීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙත පැවරීමට එහිදී තීරණය කර ඇති බවටත් වැඩිදුරටත් වාර්තාවෙනවා.
