Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රාජාංගනයේදී ගිනි අවියක් සහ යතුරුපැදියක් අතහැර සැකකරුවෝ පලා යයි

රාජාංගනය තුනේ කණුව මාර්ගයේදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු සමඟ පොරබදා, ඔවුන් පැමිණි යතුරුපැදිය සහ ජීව උණ්ඩ සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමට නිකවැරිටිය රථවාහන කොට්ඨාසයට අනුයුක්තව මහව පොලිස් බලප්‍රදේශයේ සේවය කරන කොස්තාපල්වරයෙකු අද (14) අලුයම සමත් වී තිබෙනවා.

අද (14) අලුයම 5.00ට පමණ රාජකාරිය සඳහා සිය යතුරුපැදියෙන් පිටත්ව යමින් සිටි තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල් (83100) ධනංජයට, රාජාංගනය තුනේ කණුව මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව සැක සිතී ඔවුන්ව නවතා පරීක්ෂා කිරීමට කටයුතු කර තිබුණා.

එම පරීක්ෂාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවි උණ්ඩ කිහිපයක් හමුවී තිබෙන අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වත්ම සැකකරුවන් ඔවුන් පැමිණි යතුරුපැදියෙන් පලා යාමට උත්සාහ දරා ඇති බවත්, කොස්තාපල්වරයාගේ මැදිහත්වීම මත එය ව්‍යාර්ථ වීමේ හේතුවෙන් අනතුරුව සැකකරුවන් කොස්තාපල්වරයාගේ යතුරුපැදිය පැහැරගෙන පලා යාමට උත්සාහ දරා තිබෙනවා.

එහිදී සිය ජීවිත අවදානම ද නොතකා සැකකරුවන් දෙදෙනා සමඟ පොරබැදූ කොස්තාපල් ධනංජය, වහාම සිය යතුරුපැදියේ යතුර ගලවා ඉවත් කර ගැනීමට සමත්ව ඇති අතර, තම උත්සාහයන් අසාර්ථක වූ තැන සැකකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය ද එම ස්ථානයේම අතහැර පා ගමනින් පලා ගොස් තිබෙනවා.

පසුව කොස්තාපල්වරයා විසින් තඹුත්තේගම මූලස්ථාන පොලිසිය වෙත දැනුම් දීමත් සමඟ ජංගම පොලිස් රථයක් එම ස්ථානයට පැමිණ තිබෙනවා. උදෑසන එම ස්ථානය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් විසින් අතහැර දමා ගිය ජීව උණ්ඩ සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයා ගත් බවට වාර්තාවෙනවා.

සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පලා ගිය සැකකරුවන් සොයා පොලිස් නිල සුනඛ අංශයේ ‘ජොනී’ නිල සුනඛයා යොදවා විශේෂ පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

මෙම ගිනි අවිය තඹුත්තේගම ප්‍රදේශයේ යම් නීති විරෝධී ක්‍රියාවක් හෝ අපරාධයක් සිදු කිරීම සඳහා රැගෙන ආවේ ද යන්න පිළිබඳව තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.