AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳගේ අනියම් පෙම්වතා තම ත්‍රිරෝද රථයෙන්ම නිවසට රැගෙන ආ ස්වාමිපුරුෂයා

තුෂාර පෙරේරා කොළඹට නුදුරු ගම්මානයක පදිංචි පුද්ගලයෙකි. වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි. මැදි වයස ඉක්මවා සිටි ඔහු විවාහ වීමට සහකාරියක සොයමින් සිටියේය.

තක්ෂිලා දිල්රුක්ෂි හෝමාගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. වයස අවුරුදු 27කි. ඉතා රූමත් තරුණියක වූ ඇය පාසල් අධ්‍යාපනයෙන් පසු නිවසට වී කාලය ගත කළාය.

ඇයගේ රූපයට වශී වූ තරුණයන් ආදරය පතා ඇය පසුපස ආවේය. එහෙත් ඒ කිසිවකුටත් ඇය කැමැති වූයේ නැත. එයට ප්‍රධානම හේතුව වූයේ පළමු ප්‍රේම සම්බන්ධතාවයේ අමිහිරි අද්දැකීම්ය.

දෙමව්පියන් නිතරම ඇයට පැවසුවේ කලවයසත් ගෙවී යන නිසා විවාහයක් සිදුකර ගන්නා ලෙසයි. දෙමව්පියන් එලෙස පැවසුවත් විවාහ වීමට ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් දෙමව්පියන්ගෙන් ගැලවීමක් ඇයට නොතිබිණි. එම නිසා අවසානයේ ඇය විවාහ වීමට තීරණය කළාය.

තුෂාරට තම මිතුරකු මාර්ගයෙන් තක්ෂිලා ගැන දැන ගැනීමට හැකි විය. ඒ අනුව ඔහු තක්ෂිලා බැලීමට ඇයගේ නිවසට පැමිණියේය. පැමිණි පළමු දවසේම ඇගේ රූපශ්‍රීයට වශී වූ ඔහු ඇයට එක පයින්ම කැමැති වූයේය. එලෙස කැමති වූ තුෂාර ඇය ගැන මෙලෙස සිතුවේය.

”මේ කෙල්ල ගොඩක් ලස්සනයි. මම නම් උඩින්ම කැමතියි. එහෙත් මෙයා මට කැමති වෙයිද දන්නේ නැහැ. අපි දෙන්නා අතර ලොකු වයස් පරතරයකුත් තියෙනවා. අනේ කොහොම හරි මට කැමති වෙනව නම් කොච්චර ලොකු දෙයක්ද?”

තුෂාර එලෙස ඇය ගැන සිතන අතර තක්ෂිලා ඔහු ගැන මෙලෙස සිතුවාය.

”දෙමව්පියන්ගෙන් ගැලවීමකුත් නැහැ. මේ අයියා ටිකක් වයස උනාට හොඳ කෙනෙක් වගේ. ලස්සන කොල්ලො පස්සෙ ගිහිල්ලා දුක් විඳින්න බැහැ. ඒක නිසා මෙයාට කැමති වෙනවා. මාව ආදරෙන් බලා ගනීවිනේ.”

අවසානයේ ඇය ඔහුට කැමැති විය. ඒ අනුව වැඩිකල් නොගොස් තුෂාර ඇයව තම නිවසට කැන්දාගෙන ආවේය. ඔහු ඉතාමත් ආදරයෙන් තම තරුණ බිරිඳව රැක බලා ගත්තේය. උපයන සෑම සතයක්ම ඇය වෙනුවෙන් වියදම් කළ ඔහු ආදර්ශමත් ස්වාමිපුරුෂයෙක් විය. එලෙස කලක් ගතවිය.

තම ස්වාමි පුරුෂයා ත්‍රී රෝද රථ රැකියාවට ගිය පසු දිල්රුක්ෂි නිවසේ සිටියේ තනිවමයි. දරුවන් ද නොමැති නිසා ඇය දහවල් කාලය ගත කළේ ඉතාමත් කම්මැලිකමිනි. එම නිසා ඇය දහවල් කාලයේ කම්මැලිකම මකා ගත්තේ ෆේස්බුක් භාවිතා කරමින්ය. කොටින්ම කියතොත් ඇය දැඩි ලෙස ෆේස්බුක්වලට ඇබ්බැහි වී තිබුණි.

ඇයගේ ලස්සන පින්තූර ෆේස්බුක් ගිණුමට එකතු කර තිබූ අතර එහි තමා කසාද බැඳපු කාන්තාවක් බව සඳහන් කර නොතිබුණි. එම නිසා තක්ෂිලාගේ රූපයට වශී වූ බොහෝ තරුණයන් ඇය සමඟ ෆේස්බුක් හරහා අදහස් හුවමාරු කරගත්තේය. ඒ අතර මලීෂ ගිම්හාන් නමැති තරුණයෙක්ද සිටියේය.

මලීෂ සහ තක්ෂිලා සති කිහිපයක් එක දිගට තොරතුරු හුවමාරු කර ගත්හ. ඒ අතර තක්ෂිලාගේ යටි සිතේ මලීෂ ගැන කැමැත්තක් ද තිබුණි. එලෙස කලක් ගත වෙද්දී දෙදෙනාම පෙම්වතුන් බවට පත් වූහ.

දිවා කාලයේ සැමියා නිවසේ නොමැති නිසා තක්ෂිලා මලීෂ සමග නිදහසේ පෙම් බස් දෙඩූහ. එහෙත් දෙදෙනා කිසි දිනෙක මුණ ගැසී නොතිබුණහ. දිනක් මලීෂ ඇයට මෙලෙස පැවසුවේය.

”අපි දැන් යාළුවෙලා මාස දෙක තුනක් වෙනවා. ඒත් කිසිදිනක හම්බ උනේ නැහැනේ.”

”ඉතින් දැන් සංචරණ නීති නිසා අපිට හම්බ වෙන්න බැහැනේ.”

”එහෙම කියන්න එපා. ඔයා එන්න. මිනිස්සු ඕන තරම් ඔය ඇවිදින්නේ.”

”අනේ මට නම් බයයි අයියේ දැන්ම එන්න.”

”එහෙම කියන්න එපා නංගි. මම ආසාවෙන් ඉන්නේ ඔයාව බලන්න.”

”මමත් ආසයි අයියව මුණගැහෙන්න.”

”එහෙනම් බය නැතුව එන්නකෝ.”

”සංචරණ නීති අයින් කරපුවහම එන්නම්.”

”එච්චර කල් බලන් ඉන්න බැහැ. ඔයා එන්න. නැත්නම් මං ඔයාව හොයාගෙන ගෙදරට එනවා.”

”අම්මෝ එහෙම එන්න එපා. ගෙදර කට්ටිය ඉන්නවා.”

”බැහැ බැහැ මට ඔයාව හම්බවෙන්න ඕනා. ඔයා ගෙදර කට්ටියට කියන්නේ මං ගැන.”

”අනේ දැන්ම කියන්න බැහැ.”

”එහෙනම් එන්න මාව බලන්න.”

මලීෂ ගෙන් ඇයට බේරුමක් නොතිබුණි. ඔහුගේ බල කිරීම නිසාම අවසානයේ ඇය මෙලෙස පැවසුවාය.

”එහෙනම් හෙට දවල්ට අපේ ගෙදර එන්න. ගෙදර අය පොඩි ගමනක් යනවා කවුරුත් නැහැ.”

”ඇත්තම ද ඔය කියන්නේ නංගි.”

”ඔව් ඇයි මම බොරු කියන්නෙ.”

”ගෙදර එන්න මං පාර දන්නේ නැහැනේ.”

”මම පාර කියන්නම්. හැබැයි ආවට වෙන මොකුත් බැහැ.”

”මට මොකුත් ඕන නැහැ. මගේ නංගිගේ මූණ බලලා ගියහම ඇති.”

ඒ අනුව දිල්රුක්ෂි මලීෂට තම නිවසට එන මාර්ගය පැහැදිලිව පැවසුවාය.

පසු දින උදාවිය. තම ආදරණීය බිරිඳට සමුදුන් තුෂාර ත්‍රීරෝද රථ රැකියාවට නගරයට ගියේය. ඉන්පසු ඇය නොඉවසිල්ලෙන් ලක ලෑස්ති වී සිටියේ තම අනියම් පෙම්වතා නිවසට එනතුරුය.

උදෑසන 10 ට පමණ තක්ෂිලා පැවසූ නගරයට පැමිණි ඔහු එම නගරයේ රථ ගාලේ තිබූ ත්‍රිරෝද රථයකට ගොඩ විය. ඉන්පසු එහි රියදුරාට ලිපිනයක් පවසා එම ලිපිනයට තමාව රැගෙන යන ලෙස පැවසුවේය.

ලිපිනය ඇසූ රියදුරා පුදුමයට පත්විය. එය තම නිවසේ ලිපිනයයි. තමන් කිසි දිනක නොදන්නා මෙම තරුණයා තම නිවෙසට පැමිණෙන්නේ කුමන හේතුවක් මතද යන්න එකවර ඔහුට සිතා ගැනීමට නොහැකි විය. එමනිසා ඔහු එම තරුණයාගෙන් මෙලෙස විමසුවේය.

”මහත්තයා කොහෙද මේ යන්නේ.”

”අද යනවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඞ්ව මුණගැහෙන්න.”

එය ඇසීමෙන් ත්‍රීරෝද රථ රියදුරු පුදුමයට පත් විය. තම බිරිඳ මෙම තරුණයා සමඟ කිසියම් සම්බන්ධතාවයක පැටලී ඇති බව එක්වරම ඔහු තේරුම් ගත්තේය. කමක් නැහැ වෙන දෙයක් ගෙදර ගිහිල්ලා බලාගමු. එලෙස සිතූ ඔහු කිසිදු වෙනසක් නොපෙන්වා ඔහු සමග යළි මෙලෙස කතාබස් කළේ ය.

”ඇයි මීට කලින් මහත්තයා ගිහිල්ලා නැද්ද?”

”නැහැ අද තමයි පළවෙනි වතාවට යන්නේ.”

”ඇයි ඒ.”

”අපි ආදරය කරන්න අරන් ගොඩක් කල් නැහැ. මේ සංචරණ නීති නිසා හම්බ වෙන්න බැරි වුණා. ඒක නිසා අද එයා මට ගෙදරට එන්න කිව්වා.”

”බොහොම හොඳයි නේ ඒක.”

”ඔයා ඒ පළාත ගැන දන්නවාද?”

”ලොකුවට දන්නේ නැහැ. ඒත් ඔය ලිපිනයට මම මහත්තයාව එක්කං යන්නම්.”

ඒ අනුව පැය බාගයක ගමනකින් පසුව එම තරුණයාව ඔහු තම නිවස අසලට රැගෙන ආවේය.

එලෙස රැගෙන ආ ඔහු ”මේ තියෙන්නෙ ඔය ලිපිනයේ තියෙන නිවස කියා තම නිවස පෙන්නුවේය.” ඉක්බිති තරුණයා ත්‍රිරෝද රථයෙන් බැස ගත්තේය. ඒ සමඟම නිවසේ සිටි තරුණිය ත්‍රීරෝද රථයේ ශබ්දය ඇසී ඒ දෙස බැලූවාය. එක්වරම දුටු දෙයින් ඇය පුදුමයෙන් පුදුමයටත්, බියටත් පත් වූවාය. ස්වාමිපුරුෂයාගේ ත්‍රීරෝද රථයෙන් තම අනියම් පෙම්වතා බසිනු දුටු ඇයගේ සර්වාංගයම බියෙන් සළිත වූවාය. කරන්නේ කුමක්දැයි කියා එක්වරම ඇයට සිතා ගැනීමට නොහැකි වූවාය.

ඉතාමත් බියට පත්ව තප්පර කිහිපයක් ඒ දෙස බලා සිටි ඇය කරන්න කිසිම දෙයක් නොමැති කල පිටුපස දොරෙන් පැන දිව්වාය. එලෙස පැන දිවූ ඇය කෙලින්ම නතර වූයේ තම මවගේ නිවසේය.

ත්‍රීරෝද රථයෙන් පැමිණි තරුණයාට සිදුවූවේ කුමක්ද කියා එක්වරම සිතා ගන්නට නොහැකි විය. ඔහු අන්දමන්ද වී වටපිට බැලූවේය. ඒ සමගම ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා ඔහුට ඉතා සංසුන් ලෙස මෙලෙස පැවසුවේය.

”ඔයා ඇවිත් තියෙන්නෙ මගේ ගෙදරට. ඒ පැනලා දිව්වේ මගේ බිරිඳ. මට කියන්න ඔයා කොහොමද එයා එක්ක සම්බන්ධයක් ඇති කරගත්තේ.”

එම තරුණයා ඉතාමත් බියට පත්විය. ඔහුට එක්වරම කතා කර ගැනීමටවත් නොහැකි විය. ඔහුට වචන ගොත

ගැසුණි. ඒ බව දැනගත් ත්‍රීරෝද රථ රියදුරා ඔහුට යළි මෙලෙස පැවසුවේය. ”බයවෙන්න එපා. මම වෙන මිනිසුන් වගේ නෙමේ. ප්‍රශ්න බේරගන්න විදිහ හොඳට දන්නවා. ඒක නිසා ඔයාට කරදරයක් කරන්නේ නැහැ. ඇත්ත කියන්න ඔය දෙන්නා දැන හැඳින ගත්තේ කොහොමද?”

”අනේ අයියේ මම ඇත්තම කියන්නම්. මම එයාව දැනගත්තේ ෆේස්බුක් හරහා. එයා බැඳපු කෙනෙක් කියලා මට කිව්වේ නැහැ. අද ගෙදරත් එන්න කිව්වා. ඒකයි මම ආවෙත්.” එතැන් සිට සිදු වූ සියල්ලම එම තරුණයා ත්‍රීරෝද රථ රියැදුරුට පැවසුවේය. ඒ සියල්ල සාවධානව අසා සිටි ඔහු වහාම තම බිරිඳගේ නිවස වෙත ගියේය.

බිරිඳගේ නිවස වෙත ගිය ඔහු ඇයගේ දෙමව්පියන්ට සිදු වූ සියල්ල අකුරක් නෑර පැවසුවේය. එය ඇසූ දෙමව්පියන් තම දියණියට නොසෑහෙන ලෙස දොස් පැවරුවේය. ඔවුන් සිතුවේ තම දියණිය සිදු කළ වරදට බෑනා ඇයගෙන් දික්කසාද වේවි යැයි කියාය. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. ඔහු තම බිරිඳට මෙලෙස පැවසුවේය.

”ඔයා කළේ ලොකු වරදක්. වෙන කෙනකුට ඔහොම කරා නම් ඔයා අද ජීවතුන් අතරත් නැහැ. මම තව එක් අවස්ථාවක් ඔයාට දෙනවා. හැබැයි ඔයා පොරොන්දු වෙන්න ඕනා ආයි කවදාවත් මේවගේ වැඩ කරන්නේ නැහැ කියලා. ඒ වගේම ආයි ඔයාට ජීවිත කාලෙටම ෆේස්බුක් යන්නත් බැහැ.”

අවසානයේ ඇය ඒ සියල්ලටම එකඟ වී ස්වාමිපුරුෂයා සමඟ යළි ඔහුගේ නිවසට ගියාය. අඹු සැමියන් සුළු දෙයටත් කුපිත වී මිනී මරාගන්නා මෙවැනි කාලයක ප්‍රශ්න දෙස නුවණැසින් බලන මෙවැනි මිනිසුන් ද සමාජයේ සිටිති.

ගයාන් සමරසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
140
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?