පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ ඊයේ (26) අලුයම සිදුවූ පිපිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.
සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව දැනටමත් සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
මෙම පිපිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ද ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයා හබරණ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් බවයි වාර්තා වුණේ.
පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ රෝහල් සේවකයෙකු ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය ඇති අතර, තවත් හයදෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවී ඇති බව පොලිසිය පවසනවා.
පිපිරීම හේතුවෙන් රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයට සහ ඒ අවට පිහිටි ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව තිබෙනවා.













