ගාල්ල රිචඩ් පතිරණ පුස්තකාලයේ පොත්පත් කියවමින් දැරියක රැඳී සිටියදී එහි සේවකයන් පුස්තකාලයේ දොරගුළු දමා වසා පිටව යෑම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට විරුද්ධව විමර්ශනයක් පවත්වා විනයානුකූලව කටයුතු කරන බැව් ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.
පුස්තකාලයක පොත්පත් කියවමින් සිටි දැරියක රැඳී සිටියදී එහි සේවකයන් පුස්තකාලයේ දොරගුළු දමා වසා පිටව යෑමේ සිදුවීමක් ගාල්ලෙන් වාර්තා වනවා. ඒ අනුව එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට විරුද්ධව විමර්ශනයක් පවත්වා විනයානුකූලව කටයුතු කරන බැව් ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ගාල්ල රිචඩ් පතිරණ පුස්තකාලයේ වන අතර දොළොස් හැවිරිදි වියේ පසුවන මෙම දැරිය පාසල නිමවීමෙන් පසුව මවත් සමඟ පෙරේදා (10 දා) පස්වරු 02.45 ට පමණ පුස්තකාලයට පැමිණ ඇත. දැරිය පුස්තකාලය තුළ පොත්පත් කියවමින් සිටියදී දැරියගේ මව පිටතට යන බව එහි සේවකයන්ට පවසා ගොස් තිබේ. මව යළි පස්වරු 4.45 ට පමණ පුස්තකාලයට එන විට පුස්තකාලයේ දොරගුළු වසා දමා තිබී ඇත. දැරිය පුස්තකාලයේ ඉහළ මහලේ සිට මවට අතවනා තිබේ. මව විසින් මේ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ගාල්ල පොලිසියේ තිබූ පුස්තකාලයේ යතුර ගෙනවිත් දොරවල් විවෘත කොට දැරිය පිටතට ගෙන තිබේ.
මෙකී සිද්ධිය සම්බන්ධයෙන් මව සහ දැරිය ඊයේ (11 දා) ගාල්ල මහ නගර සභාව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බැව් ගාල්ල නගරාධිපතිවරයා පවසයි.













