පාස්කු නඩුවලින් නිදහස් කරන ලෙස මෛත්‍රී ඉල්ලු පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

රුපියල් 21000 ක ගාස්තුවට යටත්ව එම අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරනු ලැබුවේ සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින්.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108 ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

එම නඩු සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීතිඥවරු තම සේවාදායකයාට එරෙහිව වන්දි ඉල්ලා මෙවැනි නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බව පෙන්වා දී තිබුණා.

එබැවින් මෙම නඩු වලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් කරන ලෙසත් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් කළා.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ දිසා අධිකරණය ඔහුට එරෙහි නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට තීන්දු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?