පාන් ගෙඩියේ මිලයි රනිල්ගේ වාහනයේ මිලයි අනුර සැසඳු හැටි

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට අලාභ හානි කිරීමෙන් සිදුවූ අලාභය රුපියල් මිලියන 205 ක් බවත් ඉන් මිලියන 14 ක් නිවෙසට අලාභ හානි වී ඇති අතර ඉතිරි මිලියන 191 ම වාහනයට වූ අලාභහානි බවත් ජවිපෙ නායකයා පෙන්වා දෙයි .

රුපියල් මිලියන 191 ක් වාහනයේ අලාභ හානිය නම් වාහනයේ වටිනාකම කොපමණක් දැයි දිසානායක මහතා ප්‍රශ්න කරයි .

රටේ ජනතාවට අද වනවිට පාන් ගෙඩියක් ගන්න වෙලා තියෙන්නේ රුපියල් තුන්සීයට විතර . එහෙම රටක ජනාධිපතිවරයාගේ වාහනයක වටිනාකම කොච්චරක්ද මේ සංවේදී මිනිස්සු දැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය . “ රනිල් කියනවා වැඩ කරන්නේ නැති රාජ්‍ය සේවකයො ගෙදර යන්නලු . හැබැයි රනිල්ගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මණ්ඩලය කීයද ? අධ්‍යක්ෂ මාධ්‍ය උපදේශක , මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් , නියෝජ්‍යඅධ්‍යක්ෂවරු , මාධ්‍ය අධ්‍යක්ෂවරු , වීඩියෝ සංස්කරණ අධ්‍යක්ෂවරු , විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරු , නිර්මාණශීලී ඡායාරූපකරණ අධ්‍යක්ෂ වරු මේ වගේ කී දෙනෙක් අද පත් කරලා තියනවද , වැටුප ලක්ෂ යයි , අසූ දාහයි . තෙලුයි වාහනයි එක්ක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන්න ඕනෑ . මේ ගොල්ලෝ කරන රාජකාරිය මොකක්ද කියලා . මෙපමණ ප්‍රමාණයක් ජනාධිපති කෙනකුට අවශ්‍යද ?

පසුගියදා රනිල්ගේ ගෙදරට වුණු අලාභය ගැන සී.අයි.ඩී. වාර්තාවක් ඉදිරිපත් කළා . ගෙදරටයි වාහනයටයි මිලියන 205 ක අලාභයක් වෙලා කියනවා . ගෙදරට වෙලා තියන අලාභය මිලියන 14 යි . මිලියන 191 ක් වාහනේට අලාභ වෙලා . ඒ කියන්නේ දහනව කෝටි දස ලක්ෂයක් පමණ වාහනයේ අලාභය . එතකොට වාහනේ මිල කොච්චරක්ද ?

එහෙව් කෙනෙක් අද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව කතා කරන්නේ යැයිද හෙතෙම පැවැසීය .