නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ලෙස ව්‍යාජ මුද්‍රාවක් භාවිතා කරලා කළ සොරාකෑමක් මාට්ටු වෙයි

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශීර්ෂ පාඨ, නිළ මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකස් කර රජයේ රැකියා, නිවාස සහ ණය ලබා දෙන බවට එම කාර්යාලයේ ගණකාධිකාරි සහ සැළසුම් අධ්‍යක්ෂකවරයාගේ ව්‍යාජ අත්සන යොදා මුදල් එකතු කළ සැකකරුවන් පස්දෙනෙක් නුවරඑළිය කොට්ඨාෂ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් වෙනුවට වැඩ බලන දිස්ත්‍රික් ලේකම් වශයෙන් ඉහත නිළධාරින් දෙදෙනාගේ ව්‍යාජ අත්සන යොදා ගෙන මුදල් ලබා ගැනීමට ලබා දුන් ලිපි කිහිපයකට මෙතෙක් ප්‍රතිචාර නොලැබී ඇති බවට මුදල් ලබා දුන් අය විසින් දිස්ත්‍රික් ලේකම්වරිය වෙත එවන ලද ලිපි කිහිපයක් පරික්ෂා කිරිමේදි එම ශීර්ෂ පාඨ ලිපි සහ අත්සන් ව්‍යාජ බවට තහවුරු වු නිසා දිස්ත්‍රික් ලේකම්වරිය විසින් නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂන අංශය වෙත සිදු කරන ලද පැමිණිල්ලක් මතයි විමර්ෂණ ආරම්භ කර තිබුණා

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකු සහ නුවරඑළිය, හැටන්, කොටගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

සැකකරුවන් හැටන් කොටගල යන ප්‍රදේශවල තවත් පිරිසකගේ සහයෝගය මත එම ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් එසේ මුදල් ලබා ගෙන ලබා ගත් මුදල තහවුරු කිරිම සදහා එම ශීර්ෂ ලිපිවල ව්‍යාජ මුද්‍රාව යොදා ගෙන ලිපි ලබා දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කරන නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂන අංශයේ නිළධාරින් විසින් සැකකරුවන් සන්තකයේ තිබි ව්‍යාජ ලෙස සකස් කරන ලද නිළ මුද්‍රා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශීර්ෂ පාඨ පොලිස් භාරයට ගත් අතර, එම නිළ මුද්‍රා සහ ලිපි ශීර්ෂ සකස් කරන ලද කොටගල නගරයේ සන්නිවේදන පියසක පරිගණක ද පොලිස් භාරයට ගෙන තිබුණා.