AFC Banner
Empty Ad
Empty Ad

“ධම්මිකත් එක්ක ඉන්න බැහැ අම්මේ… මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නේ…”

අනියම් ඇසුරේ පවුල් ආරවුල උණ්ඩයට භාර දුන් තිත්ත කතාව

බොහෝ අඹු සැමි ආරවුල් අවසන් වන්නේ මිනී මැරුමකිනි. මෙවන් සිද්ධීන් නිසා මියගිය සැමියන් මෙන්ම බිරින්දෑවරුන් ගැනද අපට නිතර අසන්නට ලැබේ.

මීට සති කිහිපයකට පෙර ඇතිවූ එවන් ආරවුලකින් සැමියාත්, බිරියත් මියගොස් තිබූ පුවතක් කැස්බෑව පොලිස් වසමෙන්ද වාර්තා විණි. අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇති වූ අඹු – සැමි ආරවුල කෙළවර වූයේ සිය බිරිය ගෙල කපා මරා ඔහුද නිවෙසක බාල්කයක එල්ලී සියදිවි හානිකර ගැනීමෙනි.

පොලිස් මූලස්ථානයට වාර්තා වන මෙවන් අඹු සැමි ආරවුල් බොහෝමයක් ඇතිව තිබෙන්නේ අනියම් සබඳතා හේතුවෙනි. බිරියට අනියම් සැමියන් සිටින බවත් සැමියාට අනියම් බිරියන් සිටින බවත් මුල් කරගෙන ඇතිවන මෙම අඹුසැමි ආරවුල්වලින් පීඩාවට පත්වන්නේ ඔවුන්ගේ දූ දරුවන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. 

ඉකුත් මස 26 වැනිදාද මෙවන් අඹු-සැමි ආරවුලක් නිමා වූයේ සැමියා විසින් සිය රූමත් බිරියට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුවය. එය ඉතා අමානුෂික ඝාතනයක් විය. ඊට හේතුව වූයේ සැමියා ඇයට වෙඩි තබා ඇත්තේ ඇගේ ඇකයේ වයස අවුරුද්දක සිඟිති දරුවකු සිටි මොහොතකදීය. සැමියා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඇගේ හිස කුඩු පට්ටම් වී ගිය අතර ඇකයේ සිටි දරුවා විසිවී ගොස් පැත්තකට විසිවිණ.

ඉන්ද්‍රා මල්කාන්ති හා ධම්මික කුමාර මීට වසර පහකට පෙර විවාහ වූයේ ප්‍රේම සබඳතාවක ප්‍රතිඵලයකිනි. ධම්මික ඇඹිලිපිටිය ප්‍රදේශයේ මල්ශාලාවක් පවත්වාගෙන ගිය අයෙකි. එමෙන්ම මීට පෙර වෙනත් කාන්තාවක සමඟ විවාහ වී සිටි තැනැත්තෙකි. ඒ විවාහයෙන් ධම්මිකට දරු දෙදෙනෙකි. එහෙත් ඒ විවාහය එතරම් සාර්ථක පවුල් ජීවිතයක් නොවුණේ දෙදෙනා අතර නිතර හටගන්නා ආරවුල් නිසාය. අවසානයේ ඇගෙන් වෙන්වූ ධම්මිකට අධිකරණයේ නියෝග මත ඇයට නඩත්තුද ගෙවන්නට සිදුවිය.

ඔහුට මල්කාන්ති හමුවන්නේ අහම්බෙනි. ධම්මික විසින් පවත්වාගෙන ගිය මල් ශාලාවේ සේවය කළ පුද්ගලයකු මල්කාන්තිගේ මල්ලී කෙනෙකි. ඒ ඔස්සේ මල්කාන්ති හඳුනාගත් ධම්මික මීට වසර පහකට පෙර ඇය සමඟ විවාහ වී ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ නිවෙසේ පදිංචියට පැමිණියේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය.

ඒ වන විට ධම්මිකද හිටියේ තනිකඩවය. ඇයද ඊට කලින් වෙනත් පුරුෂයකු හා විවාහ වී සිටි අතර ඇගේ විවාහක සැමියා සිටියේ විදේශගතවය. කෙසේ හෝ ඇතිවූ ආරවුල් මත ඇය ඔහුගෙන් වෙන්වී සිටියාය. ඇයට ධම්මික දැන හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඔය අතරය.

විවාහයෙන් පසු සතුටින් සමාදානයෙන් දරුවන්ද ලැබී වසර කිහිපයක් ගත කළද මෑතක සිට දෙදෙනා අතර අඹු-සැමි ආරවුලක් ඇති වූයේ දෙදෙනා තුළම ඇතිවූ සැක සංකා නිසාය.

මල්කාන්ති සිය සැමියාට අනියම් බිරියන් සිටින බව කියමින් ඔහු සමඟ රණ්ඩු අල්ලද්දී ධම්මිකද ඇයට හොර සැමියන් සිටින බව කියමින් ඇයට කෑකෝ ගසන්නටත් පහර දෙන්නටත් උත්සුක වී තිබිණි. මේ නිසා ඇය සැමියා සමඟ උරණ වී සිය මවගේ නිවෙසට ගිය අවස්ථා කිහිපයක්ද තිබිණි.

මෙලෙස මවගේ නිවෙසට ගොස් එහි රැඳී සිට දින කිහිපයකට පසුව ඇය දරුවන්ද සමඟ ධම්මිකගේ වහල යටට නැවත එන්නේ කරන්නට වෙන දෙයක් නොතිබූ නිසාත් දරුවන් පියා සොයමින් හඬන්නට වූ විටදීත්ය. ලොකු දරුවාට වයස අවුරුදු තුනකි. බාලයාට තවමත් වයස අවුරුද්දකි.

මෙලෙස වරින්වර ආරවුල් ඇතිකර ගනිමින් ප්‍රශ්න ගැටලු මැද ජීවත්වූ මොවුන්ගේ අඹු-සැමි ආරවුල උත්සන්න වූයේ ඉකුත් මස 26 වැනිදාය. ඒ ඇතිවූ සුළු බහින් බස්වීමක් හේතුවෙනි.

දෙදෙනා දෙදෙනාගේම හොර සැමියන් හා හොර බිරියන් ගැන එකිනෙකාට චෝදනා කරමින් ආරවුල් ඇතිකර ගැනීම අවසන් වූයේ මල්කාන්ති සිය දරු දෙදෙනාද රැගෙන ධම්මිකගේ නිවෙසින් පිටව යෑමෙන් පසුවය. 

ඇය දරුවන්ද රැගෙන ඇගේ මව පදිංචිව සිටි මහ ගෙදරට ගියාය. මහගෙදර සිය මවුපියන් සමඟ ඇගේ සොහොයුරා සිය බිරියද සමඟ ජීවත් වූහ.

“ධම්මිකත් එක්ක ඉන්න බැහැ අම්මේ. හැමදාම මගෙන් එක්ක රණ්ඩු වෙනවා. මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නේ.”

ඇය සැමියාගේ වැරැදි කියමින් හඬා වැලපෙන්නට වූ අතර මවත් සහෝදරයාත් ඇය අස්වසන්නට වූහ. ඇගේ මව ජීවත් වූයේ ඇඹිලිපිටිය දර්ශනගම ප්‍රදේශයේය. ඇය මහගෙදරට පැමිණියේ ඇය සතුව තිබූ ලියකියවිලිද රැගෙනය. ඒ නැවත ධම්මික සමඟ පවුල් නොකන තීරණයකින් යුක්තවය.

කෙසේ හෝ බිරිය සමඟ ඇතිවූ ආරවුලෙන් පසු මල්ශාලාවට ගිය ධම්මික දිවා කාලයේ යළි සිය නිවෙසට ආවේය. දවාලට කන්නට කෑමක් නැති තැන ධම්මිකට ඇති වූයේ දැඩි කෝපයකි. ඔහු ඒ මොහොතේම මල්කාන්තිට දුරකථන ඇමතුමක් ගත්තේ ඒ කෝපය ඉහවහා යෑමත් සමඟිනි.

“උඹ මොන ගුබ්බෑයමේද ඉන්නේ… උඹ දැන්ම මෙහෙ අවේ නැත්නම් මම උඹලා ඔක්කොම මරලා දානවා”

එසේ කියමින් ධම්මික දුරකථනය විසන්ධි කළ අතර මේ නිසා මල්කාන්ති දැඩි අපහසුතාවකට පත්වූවාය.

“ඇයි ධම්මික මොකද කියන්නේ…”

“මම ගෙදර ආවේ නැත්නම් මෙහෙට ඇවිත් මාව මරනවලු”

මින් මල්කාන්තිගේ මවද තැති ගත්තාය.

“ධම්මික මෙහෙ ආවොත් තවත් ලොකුවට ප්‍රශ්න ඇතිවෙයි. මල්ලිත් ඕවට පැටලෙයි. ඒ හින්දා මම ගෙදර යන්නම් අම්මේ…”

“එහෙනම් මල්ලිට කතා කරලා එයාට කියන්න ගිහින් බස්සන්න කියලා…”

මව මල්කාන්ති දුව ගැන ඇති වූ බියකින් යුතුව ඇයට පවසන්නට වූවාය. ඒ අනුව මල්ලීට දුරකථන ඇමතුමක් දෙන මල්කාන්ති යළි ඇයව නිවෙසට ගොස් ඇරලවන ලෙසද පවසා සිටියාය.

“අයිය ළමයි දෙන්නටත් හරි ආදරෙයිනේ මල්ලි, ඒ නිසා මම ගෙදර යන්නම්…”

සවස 5.30ට පමණ මල්ලිගේ බිරියද සමඟ මල්කාන්ති හා දරුවන් දෙදෙනා මල්ලිගේ ත්‍රීවීලරයෙන්ම ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි ඔවුන්ගේ නිවෙසට ගියේ වෙන කරන්නට කිසිදු දෙයක් නොතිබූ හෙයිනි. ඒ අතර නිවෙස ඉදිරි පසින් ත්‍රීවීලරයෙන් බැසගත් මල්කාන්ති තම අත දරුවා වඩාගෙන නිවෙසට ඇතුළු වූ අතර දෙවැනි දරුවාද ඇය පසුපස පැමිණෙන්නට විය. එහෙත් ඇය ගෙදරින් යනකොට රැගෙන ගිය බඩු මුට්ටු ත්‍රීවීලරය පිටුපස තිබුණද එය ගැනීමට ඇයට අමතක වූ සෙයකි.

ඒ වන විට ධම්මික සිය නිවෙසට පැමිණ සිටියේය. මොහොතකින් ලැබුණු දුරකථන ඇමතුමක් නිසා මල්කාන්තිගේ සොහොයුරාද ත්‍රීවීලරයෙන් එතැනින් නික්ම නගරය දෙසට යන්නට විය.

මල්කාන්තිට ගෙට ගොඩ වදින්නටත් නොහැකි වූවාය. ධම්මික ඇගේ ඇඟට කඩා පැන්නේය. පරුෂ වචන පෙළක්ද සමඟින් ඇයට තදින් බැන වදින්නට විය. මල්කාන්තිට මෙය ඉවසුම් නොදෙන්නක් වූවාය. ඇයද සැමියාගේ බැනුම්වලට පිළිතුරු දෙමින් ඔහු සමඟ ආරවුලක පැටලුණාය. 

“අනේ මල්ලි ඇවිල්ලා මාව එක්කරගෙන යන්න. මට මෙහෙ ඉන්න බැහැ. මූ මාව මරාවි.”

ඇය ඒ අතර සිය සොහොයුරාටද දුරකථන ඇමැතුමක් දෙමින් කීවාය. නැවත අක්කා සහ මස්සිනා ආරවුල් ඇති  කරගෙන ඇති බව වටහා ගත් සොහොයුරා යළි ත්‍රීවීලරය හරවාගෙන අක්කාගේ නිවෙසට ගියේය.

එලෙස පැමිණි ඔහු අක්කා නිවෙසින් පිටතට එනතුරු නිවෙසේ ගේට්ටුව අසල ත්‍රීවීලරය නතර කරගෙන සිටියේය. ඒ අතර අක්කාත් මස්සිනාත් බැන ගන්නා අයුරුද ඔහුට ඇසෙන්නට විය. සොහොයුරා ගේට්ටුව අසලට පැමිණ ඇති බව වටහා ගත් මල්කාන්ති අතදරුවාද ඇකයේ හොවාගෙන අනෙක් දරුවාද රැගෙන නිවෙසින් පිටව යන්නට මිදුලට බැස්සාය. ඒ සමඟම ධම්මිකගේ ‘මල’ පැන්නේය. ඔහු ඇයට බැන වදිමින් නිවෙස තුළට දිව ගොස් සැණින් යළි මිදුලට දිව ආවේය. ඒ කුඩා ගිනි අවියක්ද අතැතිවය. ඒ වනවිට මල්කාන්ති නිවෙසේ ගේට්ටුවද විවර කොට මීටර් දහයක් පමණ දුරකට ගොස් සිටියාය. ඇගේ කුඩා දරුවා ඇගේ ඇකයේය. දෙවැන්නා ඇය පසුපසය. 

නිවෙස තුළ සිට දුවගෙන පැමිණි ධම්මික මාර්ගයට යමින් සිටි මල්කාන්ති වෙත කඩා පැන වම් අතින් ඇගේ කොණ්ඩයෙන් අල්ලා ගත්තේය. ධම්මිකගේ දකුණතේ ගිනිඅවිය තිබිණ. ඇය දරුවාද සමඟ කැරකී ගොස් ධම්මික ගේ ඉදිරියට හැරුණාය. ඒ සමඟ දකුණත තිබූ ගිනිඅවිය ඇගේ නළලට ඉලක්ක කළ ධම්මික එකවරම එහි කොකා ගැස්සුවේය. මහ හඬක් නඟමින් වෙඩි හඬ පත්තු විය. ඒ සමඟ හිස කුඩු පට්ටම් වූ මල්කාන්ති එතනම ලේ පෙරාගෙන ඇද වැටුණු අතර ඇගේ ඇකයේ සිටි අවුරුද්දක් වයසැති දරුවා ඇකයෙන් ගිලිහී ගොස් පැත්තකට වැටුණේය. 

තම අක්කාට අත්වූ ඉරණම ත්‍රීවීලරයේ සිටි ඇගේ සොහොයුරාට පැහැදිලිව පෙනුණේය. ඔහු වහා දිවගොස් ධම්මිකගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. 

“තෝ මොකක්ද බල්ලෝ කෙරුවේ” ඒ සැණින් ඔහු බිම වැටී සිටින සොහොයුරිය දෙස බැලීය. ඇය රෝහලට ගෙන යායුතු බව ඔහුට වැටහුණේය. ඔහු ධම්මිකගේ ගෙල අතහැර බිම වැටී සිටි අක්කාව ඔසවාගෙන ත්‍රිරෝද රියකින් ඇඹිලිපිටිය රෝහලට රැගෙන ගියේය. තුවාලකාරිය පරීක්ෂා කළ වෛද්‍යවරු සොහොයුරාට කීවේ ඇය ඒ වනවිටත් අවසන් හුස්ම හෙළා ඇති බවය. ඒ සමඟම ඔහු මහ හ¾ඩින් හඬ වැලපෙන්නට විය. සිද්ධිය රෝහල් පොලිසිය විසින් ඇඹිලිපිටිය රෝහලට දැනුම් දුන්නේ ඉන්පසුවය.

ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන් ඇතුළු කණ්ඩායමක් ඇඹිලිපිටිය රෝහලට යන්නේ එම දැනුම්දීමට අනුවය. පසුව එම නිලධාරීන් මල්කාන්තිගේ නිවෙසට ගියේ ඇගේ සැමියා සොයාගෙනය. මල්කාන්තිගේ සොහොයුරා ඒ වනවිටත් සිදුවූ සියල්ල එකක් නෑර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පවසා තිබීම පරීක්ෂණවලට මහඟු පිටිවහලක් විය. 

පොලිස් නිලධාරීන් යනවිටත් ධම්මික නිවෙසේ සිටියේය. ඔහු සිටියේ කිසිවක් සිදුනොවූ අයකු ලෙසය. ඔහු කුඩා දරුවා වඩාගෙන සිටියේය. 

“කෝ තමුන්ගේ නෝනා”

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් ධම්මිකගෙන් විමසුවේ කිසිත් නොදන්නකුසේය. 

“එයා අම්මලා ගෙදර යනවා කියලා මල්ලිත් එක්ක ත්‍රීවීලර් එකෙන් ගියා” 

ධම්මික කිසිදු වෙනසක් නොපෙන්වා කීවේය. 

“උඹේ ගෑනි තුවාල වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරලා තියෙනවා කියලා උඹ දන්නේ නැහැ.” 

“අනේ නැහැ සර් මම දන්නේ නැහැ. මල්ලි දන්නවා ඇති.” 

“යකෝ අපිට බොරු කියන්න එපා. උඹෙන් මම ඇත්ත දැනගන්නම්. මෙන්න මූව දාගන්නවා ජිප් එකට”

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය කණ්ඩායමට උපදෙස් දුන්නේය. ධම්මික කුදලාගත් නිලධාරීහු ඔහුගේ දෑතට මාංචුද යොදා ජීප්රියට ඔහු නංවා ගත්හ. ඉන් අනතුරුව නිලධාරීන් ධම්මිකගේ නිවෙස දැඩි සෝදිසියට ලක් කළේය. නිවෙසේ සී.ටී.ටී.වී. කැමරා සවිකොට ඇති බව නිලධාරීහු දුටුහ. ඇති වූ සිද්ධිය ගැන කිසියම් හෝඩුවාවක් කැමරාවල සටහන් වී ඇතැයි විශ්වාස කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එය ක්‍රියාත්මක කළේය. ඒත් එය ක්‍රියා විරහිතය. පසුව කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ සී.සී.ටී.වී. කැමරාවේ  QVR යන්ත්‍රය හා කොටස් ගලවා ඇති බවය.  එය ධම්මික විසින් සිදුකර ඇති බව නිලධාරීහු සැක කළහ. ඉන්පසු ධම්මිකගෙන් නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. ඒ මල්කාන්තිට වෙඩි තැබූ තුවක්කුව සොයා ගන්නටය. 

“අපි මිනිහගෙන් ප්‍රශ්න කරනකොට මිනිහා මුකුත් කිව්වේ නැහැ. ඒත් අපි දිගටම ප්‍රශ්න කළා. වෙඩි තියන්නට යොදාගත්ත ගල්කටස් වර්ගයේ බෝර 12 උණ්ඩ දාන තුවක්කුව ගල්ගොඩක් අස්සේ හංගලා තිබිලා හොයා ගත්තා.” 

“ගෑනු කෙනාට වෙඩි තියනකොට ඇඳගෙන හිටිය ඇඳුම්වල ලේ විසිරිලා තිබිලා ඒවා සෝදලා කියලා සොයා ගන්න පුළුවන් වුණා. සී.සී.ටී.වී. කැමරාවේ කොටස් අල්මාරියක හංගලා තියලා සොයාගන්න පුළුවන් වුණා. ඒ බෝර ‍ෙදාළහේ තුවක්කුවෙන් වෙඩි තියපු හින්දා තුවක්කුවේ තිබුණු මූනිස්සමෙන් පිටවුණු යකඩ බෝල සියයක් විතර ගෑනු කෙනාගේ ඔළුවේ තිබුණා. ඒ නිසා ගෑනු කෙනාගේ ඔළුව කුඩුපට්ටම් වෙලා තිබුණේ. ඒ වගේම මේ සැකකරුට ගිනිඅවියක් ලැබුණේ කොහෙන්ද කියලත් ගෑනු කෙනාට වෙඩි තියන්නට කියලා හිතාගෙන ඒක කලින්ම ගෙනත් ගෙදර තිබ්බද කියලා දැනගන්නත් ප්‍රශ්න කරනවා.”

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් කීවේය.

පොලිසියට රැගෙන ගිය සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව සැකකරු  BR 1437/21 යටතේ ඉකුත් 27 වැනිදා ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකාර ධම්මික මේ මස 5 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ධම්මිකගේ හා මල්කාන්තිගේ දරු දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පරිවාස වාර්තාවක්ද සමඟින් මල්කාන්තිගේ මවට භාරදීමට අධිකරණය කටයුතු කළේය. 

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ප්‍රේමරත්න, සැරයන් පාලිත (62113) හා රණතුංග (19558), තිලකසිරි (35507), ජයවර්ධන (38313), ගාමිණී (13025) හා ගිහාන් (89389) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පැවැති විමර්ශනවලට එක්ව සිටියහ. 

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.)

කීර්ති මෙන්ඩිස්

ඡායාරූප – රූපසේන පත්තුව

ඇඹිලිපිටිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?