පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ දී අද (16) තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු
විසින් සාක්ෂි ලබාදීම සිදු කරනු ලැබුවා.
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී රැස් වූ
අවස්ථාවේදී පෙ. ව 9.30 සිට ප.ව 7.30 දක්වා මෙසේ සාක්ෂි ලබා ගැනීම සිදු වූ බවයි වාර්තා වන්නේ.
පසුගිය 11 වැනිදා සාක්ෂිකරුවන් සිව්දෙනෙකු කම්ටුව හමුවේ සාක්ෂි ලබාදීම සිදු වූ අතර ඉන් එක් සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීමට එදින නොහැකි වුණා.
මේ නිසා එම සාක්ෂිකරු ද අද දින පැමිණි අතර ඔහුගේ සාක්ෂි ලබාදීම අවසන් කිරීම සිදු කළා.
මීට අමතරව තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු සාක්ෂි ලබාදී අවසන් කිරීම අද දින සිදු වුණා.
මෙහිදී පරීක්ෂණ කමිටුව විසින් ද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළා.
මේ වන විට සාක්ෂිකරුවන් 7 දෙනෙකු කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම අවසන් අතර හෙට (17) දින ද පෙ.ව. 9.30 පරීක්ෂණ කමිටුව රැස්වීමට නියමිතයි.





