දින 29ක් හිරේ හිටි වෛද්‍ය මහේෂි විජේරත්නට දැඩි කොන්දේසි මත ඇප

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මෙම නියෝගය නිකුත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව, සැකකාරිය රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.

සැකකාරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු වීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

ඊට අමතරව සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කෙරුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්‍ෂිකා අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන්ට ශල්‍ය වෛද්‍ය උපකරණ විකිණීම සඳහා පවත්වාගෙන ගිය එම්.එන්.එම්. නමැති ආයතනයක් ගැන මීට පෙර විමර්ශනවල දී කරුණු අනාවරණය වූ අතර ඒ පිළිබඳව දැනටමත් අධිකරණය දැනුවත් කර ඇති බවයි.

ඉන් අනතුරුව මෙවැනි ම ආකාරයේ ඊලීෂ් මෙඩිකල් සෙන්ටර් නමැති ආයතනයක් පිළිබඳව විමර්ශනවල දී කරුණු අනාවරණය වූ බවත්, එම ආයතනය ශාමා කුමාරි රොද්‍රිගු නමැති අයෙකු විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී ඇතැයි ඇය පැවසුවා.

පසුව එම තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේ දී අදාළ ආයතනය මෙම සැකකාර වෛද්‍යවරිය විසින් ආරම්භ කරන ලෙස තමන්ට දැනුම් දෙනු ලැබූ බවත්, ඒ වෙනුවෙන් තමන්ට “පොකට් මනී” ලබා දෙන බවට සැකකාර වෛද්‍යවරිය විසින් තමන්ට ප්‍රකාශ කරන ලද බවත් එම රොද්‍රිගු නමැත්තිය සඳහන් කළ බව සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා.

මෙම ආයතනයට අදාළව ශාමා කුමාරි රුද්‍රිගු නමැත්තිය සහ සැකකාර වෛද්‍යවරිය අතර බැංකු ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන යන අතර එම ගිණුමට වෛද්‍ය උපකරණ විකිණීමෙන් ලැබෙන මුදල් බැර වී ඇති බවත් එම ගිණුමට අදාළ මුදල් නිකුත් කිරීමේ බලය මෙම සැකකාර වෛද්‍යවරිය වෙත පවරා තිබූ බවත් ඇය සඳහන් කළා.

ඒ අනුව, සැකකාර වෛද්‍යවරියගේ නියෝග මත එම ගිණුමෙන් මුදල් දෙවන සැකකාර රංජිත් මුතුකුඩ නමැත්තාට නිකුත් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බවත් ඇය කියා සිටියා.

අල්ලස් කොමිසම ඇතැම් වෘත්තීන්වලට එරෙහිව ද්වේශ සහගතව කටයුතු කරන බවට පසුගිය දිනයේ අදහස් ප්‍රකාශ වී තිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, අල්ලස් කොමිසම කිසිදු වෘත්තියක ආචාර ධර්ම පිළිබඳව සොයා බැලීමක් නොකරන බව සඳහන් කළා.

එහෙත්, කිසියම් වෘත්තිකයෙකු තමන්ගේ නිල බලය අයුතු ලෙස පාවිච්චි කරමින් ලාභයක් උපයා ගන්නවා නම් හෝ ඒ තුළින් වෙනත් අයෙකුට ලාභයක් ඉපයීමට අවස්ථාවක් සලසා දෙන්නේ නම් එය දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදු කිරීමක් බවත් ඊට එරෙහිව කටයුතු කිරීමට අල්ලස් කොමිසමට හැකියාව තිබෙන බවත් ඇය පැවසුවා.

ඒ අනුව, මෙම සැකකාරිය වෛද්‍ය උපකරණ රෝගීන්ට විකිණීම සඳහා තවත් ආයතන පවත්වාගෙන යන්නේ ද? පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවත් බැංකු ගිණුම් පිළිබඳව ද විමර්ශන සිදු කිරීමට අවශ්‍යව තිබෙන හෙයින් එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂිකා අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකාරිය දින 29ක් රිමාන්ඩ් භාරයේ පසුවන බවයි.

“ස්වාමීනී… මෙම නඩුකරයේ ඇතැම් සාක්ෂිකරුවන්ට දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා. එම දිවුරුම් ප්‍රකාශවල අන්තර්ගත කරුණුවල නිවැරදිභාවය පිළිබඳව මේ අවස්ථාවේදී අධිකරණයට සලකා බලන්න හැකියාවක් නෑ. මොකද නඩු විභාගයකදී සාක්ෂි කූඩුවේ සාක්ෂිකරු නංවා කරනු ලබන ප්‍රශ්න කිරීම්වලින් තමයි, ඒවායේ අන්තර්ගතයේ සත්‍ය අසත්‍යභාවය මනින්න පුළුවන් වෙන්නේ. අනික මේ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් වෙන හැටිත් අපි දන්නවා. සාක්ෂිකරුවන්ට කියනවා දිවුරුම් ප්‍රකාශයක් නොදුන්නොත් සැකකාරයෙක් කරලා රිමාන්ඩ් කරනවා කියලා. ඒ අනුව තමයි අල්ලස් කොමිසම මේ දිවුරුම් ප්‍රකාශ ලබා ගන්නේ.

අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළා, අපි වෘත්තීන්වල ආචාර ධර්ම ගැන හොයන්නේ නෑ කියලා. එහෙනම් මගේ සේවාදායිකාව මොළේ මැරිච්ච අයට ශල්‍යකර්ම කළා කියලා කිව්වේ කොහොම ද? මේ සැකකාරියගෙන් ප්‍රතිකාර ගත්ත රෝගීන්ගෙන් සීයට හැත්තෑවකට වඩා මැරිලා කියලා කිව්වේ කොහොම ද? අල්ලස් කොමිසම මේ වගේ ප්‍රකාශ කළේ මාධ්‍යවල අවධානය දිනා ගන්න. එහෙමත් නැත්නම් ගැලරියට තමයි කිව්වේ. ජනප්‍රියවාදී මතයක් ගොඩනගලා සැකකාරිය දිගින් දිගට ම රිමාන්ඞ් භාරයට පත් කරන්න තමයි අල්ලස් කොමිසම මේ වගේ දේවල් කරන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු මහජන කැලඹීමක් නෑ. දැන් තිබෙන්නේ කෘත්‍රිමව නිර්මාණය කළ සමාජ මාධ්‍ය රැල්ලක් විතරයි. මේවා මත පිහිටලා අධිකරණවලට කටයුතු කිරීමට හැකියාවක් නැහැ. අල්ලස් කොමිසම පෝලිමට මිනිස්සු අල්ලන් ඇවිල්ලා රිමාන්ඩ් කරන්න හදනවා. මේ ක්‍රියාව නිසා වැඩි දවසක් යන්නට මත්තෙන් නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය කඩා වැටෙන්න පුළුවන්. ඒක වැඩි ඈතක නැහැ. ඊට පස්සේ ඒ අයටත් පෙනී ඉන්න වෙන්නෙ අපට ම යි.

”ස්වාමීනි… අල්ලස් කොමිසම ඉල්ලූ පමණින් සැකකරුවන් රිමාන්ඩ් කරන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ප්‍රකාශ කරලා තිබෙනවා පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශකයින් ඉල්ලා සිටි පමණින් ඔවුන්ගේ ඉල්ලීම්වලට ඉඩ දෙන්න එපා කියලා. ස්වාමීනි… මේ වන විට මගේ සේවාදායිකාවගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ නිසා ඇයට ජයවර්ධනපුර රෝහලට ඇතුළු වෙන්න හැකියාවක් නෑ, ඒ නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමටත් ඇයට හැකියාවක් නෑ.”

ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙලෙස පැවසුවා.

“ස්වාමීනී… දැන් හිරු එළිය හොඳට තියෙද්දි අධිකරණය තුළ විදුලි බල්බ දල්වා තිබෙනවා. යම් කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන් හිරු එළිය හොඳින් තියෙද්දි විදුලි බල්බ පත්තු කරලා රජයට පාඩුවක් කළා කියලා. එවැනි තත්ත්වයක් ආවොත් අල්ලස් කොමිසම අහයි අධිකරණ නිලධාරීන්ගෙන් මේ ලයිට් දාන්න නියෝග දුන්නේ කවුද කියලා. නිලධාරීන් කියයි ඔබතුමිය කියලා. මෙහෙම ගියොත් වැඩි කාලයක් යන්නට කලින් අල්ලස් කොමිසම ඔබතුමියවත් මේ විත්ති කූඩුවට අරන් එන්න පුළුවන්,” යනුවෙන් කරුණු දක්වා සිටියා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කළේ, මෙම සැකකාරිය තමන් පදිංචි ලිපිනය ලෙස රොස්මිඩ් ප්‍රදේශයේ සහ විජේරාම මාවතේ ලිපින දෙකක් ලබා දී තිබුණ ද එම ලිපින දෙකේ ම පදිංචි වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

මැතිවරණ කොමිසම මාර්ගයෙන් සිදු කළ විමර්ශනයක දී අනාවරණය වූයේ ඇය මීරිගම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක බව ද එහිදී සඳහන් වුණා.

ඒ අනුව, සැකකාරියට ඇප ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මෙම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව, ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 28 වැනි දා කැඳවන ලෙස නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
17
+1
1
+1
4
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?