කලුතර පාසල් සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවර සිදුකල බව කියන උපකාරක පංති ගුරුවරයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.
කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේ සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදු කරන අතරතුර සිදු කළ වීඩියෝ පටිගත කිරීම් 16ක් පිළිබඳව ද අනාවරණ වන බවයි.
ඒවා නිරීක්ෂණය කරමින් අගතියට පත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කලුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ප්‍රකාශ කළා.
කලුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පන්ති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන් ද අපයෝජනයට ලක්කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ද සඳහන්.
සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කලුතර උතුර පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබෙනවා.
ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන් අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණය වී දෙමව්පියන් දැනුවත් කර ඇති බව සඳහන්.
අගතියට පත් දැරියන් මෙන්ම දෙමව්පියන්ද ඉදිරිපත්වීමේ මැලිකමක් නිරීක්ෂණය වන බැවින් එවැනි දැරියන් සිටී නම් කලුතර උතුර පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.
ගණිතය විෂය උගන්වන සැකකාර උපකාරක පංති ගුරුවරයා මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් සිටින අතර ඔහු සොයා පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පාසල් සිසුවියන්ට පංතිකාමර තුලදී ලිංගික අතවර කර ඇති සැකකරු දැරියන් නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කලුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුලදී ද ලිංගික අතවර කර ඇති බව හෙළිවී තිබෙනවා.
දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා දෙමව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇඳුම් ගලවන ලෙසට උපදෙස් දී එම දර්ශණ පටිගත කර ඇති බව ද සඳහන්.
අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරියෙකුගේ දියණියක් සිටින බව ද වාර්තා වනවා.













