මාසයක කාලයක් ඇමසන් වනයේ අතරමංව සිටි බොලිවියානු ජාතිකයෙකු සෝදිසි කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
තමා වනයේ අතරමං වූ පසු ඇමසන් වනාන්තරයේ දින 31ක් ජීවත් වූ ආකාරය ඔහු විස්තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
30 හැවිරිදි Jhonattan Acosta උතුරු බොලිවියාවේ වනගත ප්‍රදේශයක මිතුරන් 4 දෙනෙකු සමග දඩයම් කරමින් සිටියදී අතරමං වී තිබුණේ.
ඔහු පවසන්නේ වනගතව ජිවත් වූ දින 31 තුළ තම සපත්තු තුළ රැස් කරගත් වැසි ජලය පානය කළ අතර පණුවන් සහ වෙනත් කෘමීන් අනුභව කළ බවයි.
ජගුවර් සහ පෙකරි වැනි සතුන්ගෙන් සැඟවී සිටි ආකාරය ද ඔහු විස්තර කර තිබෙනවා.
අතුරුදහන් වී මාසයකට පසු ප්‍රදේශවාසීන් සහ මිතුරන්ගෙන් සැදුම් ලත් සෝදිසි කණ්ඩායමක් විසින් Acosta සොයා ගනු ලැබුවා.
තම මිතුරන්ගේ සහ ගම්වාසීන්ගේ මෙහෙයුම් තමාට විශ්වාස කළ නොහැකි බවයි කඳුළු පිරි දෙනෙතින් ඔහු සඳහන් කළේ.
මෙතරම් කාලයක් අතුරුදන් වූ අයෙකු සෙවීම දිගටම කරගෙන ගිය බව විශ්වාස කළ නොහැකි බව ද මෙම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.
“මම පණුවන් කෑවා, මම කෘමීන් කෑවා, මේ කාලය පුරාම ජීවත් වීමට මා කළ සියල්ල ඔබ විශ්වාස නොකරනු ඇත, “මම දෙවියන් වහන්සේට බොහෝ ස්තුතිවන්ත වෙමි, මන්ද ඔහු මට නව ජීවිතයක් ලබා දී ඇත.” යනුවෙන් ඔහු යුනිටෙල් රූපවාහිනියට හෙළි ර තිබෙනවා.
මෙම පුද්ගලයා අතරමංව සිටි කාලය තුල බොලිවියාවේ දේශීයව gargateas ලෙස හඳුන්වන පැපොල්වලට සමාන වන පළතුරු ද අනුභව කර ඇතැයි සඳහන්.
ඔහුගේ පවුලේ සාමාජිකයන් කියා සිටියේ Acosta අතරමං වූ ආකාරය සහ ඔහු ජීවත්ව සිටීමට සමත් වූ ආකාරය පිළිබඳ සියලු තොරතුරු තවමත් ලබාගනිමින් සිටින බවයි.
මෙම භයානක අත්දැකීමෙන් පසුව ඔහු මානසිකව පීඩාවට පත්ව ඇති බැවින් අදාළ තොරතුරු ක්‍රමයෙන් ඔහුගෙන් විමසන බව ද ඥාතීන් සඳහන් කළා.
Acosta ගේ බර මෙම කාලසීමාව තුළ කිලෝග්‍රෑම් 17ක් (රාත්තල් 37ක්) අඩු වී, ඇති අතර වළලුකර ආබාධයක් ද මතුවී තිබෙනවා.
ඔහු සොයා ගන්නා විට විජලනයට ලක්ව සිටි අතර එම අවස්ථාව වන විටත් ඔහුට අපහසුවෙන් ඇවිදීමට හැකියාව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Jhonattan Acosta අතරමං වූ විට වැසි ජලය පානයට සපත්තු භාවිතා කළ අතර ආරක්ෂාවට ඔහු අතේ පිහියක් හෝ විදුලි පන්දමක් නොතිබූ බව සඳහන්.
තමාට ජගුවර් ඇතුළු වන සතුන් හමු වූ බව ද ඔහු තම ඥාතීන්ට පවසා තිබෙනවා.
ඔහුගේ බාල සොහොයුරා පවසන්නේ දකුණු ඇමරිකාවේ වැසි වනාන්තරවල දක්නට ලැබෙන ඌරන් වැනි රංචුවක් වන පෙකරි රංචුවක් බිය ගැන්වීමට ජොනට්ටන් ඔහුගේ ගිනි අවියේ අවසන් උණ්ඩය භාවිතා කර ඇති බවයි.
දින 31 කට පසු, සෙවුම් කණ්ඩායමක් දුටු අතර තමා වෙතට අවධානය යොමු කරන ලෙස කෑගසමින් කටු පඳුරු හරහා ඔවුන් දෙසට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Horacio Acosta පවසන්නේ තම සහෝදරයා ප්‍රදේශවාසීන් හතර දෙනෙකු විසින් සොයා ගත් බවයි. “මගේ මල්ලිව හම්බුනා කියලා අපිට කියන්න මනුස්සයෙක් දුවගෙන ආවා. ඒක ආශ්චර්යයක්.”
සොහොයුරා පවසන පරිදි, Jhonattan Acosta මෙම සිදුවීමෙන් පසුව දඩයම් කිරීම අත්හැරීමට තීරණය කර ඇතැයි සඳහන්.
“ඔහු දෙවියන්ට ප්‍රශංසා කිරීමට සංගීතය වාදනය කිරීමට යයි. ඔහු දෙවියන් වහන්සේට එය පොරොන්දු විය, මම හිතන්නේ ඔහු ඔහුගේ පොරොන්දුව ඉටු කරයි,” යනුවෙන් ගිටාර් වාදනය කරන තම සහෝදරයා පිළිබඳ බාල සොහොයුරා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර දිවි ගලවා ගත් පුද්ගලයාගේ මිතුරන් සිව්දෙනා වෙන් වූයේ කෙසේද යන්න සොයා ගැනීමට ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කළා.













