පෝලන්තයේ ක්‍රාකෝව් නගරයේ වෙඩි තැබීමකින් 06ක් මරුට – විදේශිකයින් ඇතුළු 15 කට තුවාල

පෝලන්තයේ ක්‍රාකෝව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ චතුරස්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුට තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිසිය පැවසුවේ අන්ත දක්ෂිණාංශික දෘෂ්ටිවාදයෙන් ආභාෂය ලැබූ බවට විශ්වාස කෙරෙන තුවක්කුකරුවෙකු මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

එරට වේලාවෙන් සෙනසුරාදා දහවල් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මියගිය හයදෙනා අතර කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු සිටින බවයි වාර්තා වුණේ.

මියගිය හයදෙනාගෙන් තිදෙනෙකු පෝලන්ත ජාතිකයන් වන අතර එක් අයෙකු බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවත්, දෙදෙනෙකු තවමත් කුමන ජාතිකයින් ද යන්න හඳුනාගෙන නැහැ.

තුවාල ලැබූ 15 දෙනා අතර ඔස්ට්‍රියාව, ජර්මනිය, පෘතුගාලය, රුසියාව සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි විදේශිකයන් පස් දෙනෙකු ද සිටිනවා.

එමෙන්ම තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින අතර, එක් අයෙකුට බරපතල බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ අතර වෝර්සෝ අගනුවර සහ වෙනත් තැන්වල ආරක්ෂක පියවර තර කර ඇති අතර සෙනසුරාදා සවසවන විට ක්‍රකෝව් හි දැවැන්ත සන්නද්ධ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියත් සමඟ නොවැම්බර් 11 වන දින දක්වා ක්‍රකෝව් හි ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.