ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

මෙම මෝසම අද (29) දින මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සඳහන් කළේ, සිය සේවා දායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එහෙත් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සඳහන් කළේ මෙය අපරාධ නඩුවක් බවයි.

විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාළ මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කාල වේලාව ලබාදෙන ලෙස ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව ස්වල්ප වෙලවකට කල් තබා තිබෙනවා.