ජීවිත දෙකක් අහිමි වූ පුස්සැල්ලාවේ අඹු-සැමි ඛේදවාචකය

පුස්සැල්ලාව පොලිස් වසමේ ගම්පොල, දොරගල ප්‍රදේශයේ නිවසක් තුළදී ඊයේ (04) දින දහවල් කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර එම සැකකරුද සියදිවි හානි කරගෙන ඇති බවට පුස්සැල්ලාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකාරිය අවුරුදු 38 ක් වූ දොරගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, සියදිවි නසාගත් සැකකරු අවුරුදු 38 ක් වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකාරිය තම පළමු විවාහය අතහැර සිටි කාන්තාවක් වන අතර සැකකාර පුරුෂයා සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගෙන ගොස් ඇති බවත් එහිදී සැකකාර පුරුෂයා සහ මරණකාරිය අතර මරණකාරියගේ නිවසේදි ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පුස්සැල්ලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.