මෙරට විවිධ වෘත්තීන්වල නිලධාරීන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් තමා ඇතුළු වත්මන් රජයට නිසි අවබෝධයක් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එම ගැටළු හඳුනාගැනීම සඳහා වෘත්තීය සමිති ඇතුළු අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡාවල නිරත වන බවත්, එලෙස හඳුනාගත් ගැටළු සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් පෙර විසඳුම් ලබා දෙන බවත්, ජනාධිපතිවරයා අවධාරණය කළා.
‘අයවැය සහ වැඩකරන ජනතාව’ යන තේමාවෙන් පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් අද (26) පස්වරුවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
”හඳුනාගත් ප්රශ්න විසඳන ආණ්ඩුවක් මේක, ඒ ප්රශ්න හඳුනා ගැනීම සඳහා වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරනවා. අපි මේ උඩින් පහත වුණු, වැඩ කරන කෙනාගේ ප්රශ්නේ දන්නේ නැති, දොස්තර මහත්තයට වාහන පර්මිට් එක නැතිවුණ නිසා ඇතිවෙලා තියෙන අර්බුධය දන්නේ නැති, එහෙම අය නෙවෙයි. අපි දන්නවා. අපි මේ ඇසුරු කරන අය. අපේ මිතුරෝ, අපේ ඥාතීන්, අපි දන්නා අය මෙයාලා. මේ හැමදෙනාගේම ප්රශ්න අපි දන්නවා. හැමදෙනාගේම ප්රශ්නය කෑගහන්න කලින් අපි විසඳනවා, කෑගහව්වට විසඳුම් දෙන්න බැරි ඒවාට දෙන්නේ නැහැ” යැයි ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.










