Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නොහොඹිනා වැඩ නිසා මෙරටට පිටුවහල් වූ අයට නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවදානය

ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විදේශ රටවලදී වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සංසදය විසින් පත්
කරන ලද අනු කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ආයතන අතර පවතින සම්බන්ධීකරණ ගැටලු සහ සන්නිවේදන බාධා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම ඒ සඳහා රටේ පවතින නීතිමය හා ආයතනික ක්‍රමවේද
තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් සහ සංසදය විසින් පත්කරන ලද අනු කමිටුව එහි සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ රැස්වීමක් ලෙස පසුගියදා 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිනිය විදේශ රටවලදී ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වී මෙරටට පිටුවහල් කරන පුද්ගලයන්ගේ පෙර අපරාධ වාර්තා පිළිබඳව මෙරට අදාළ ආයතන දැනුවත් නොවීම හේතුවෙන් ඔවුන්සමාන්‍ය
පුද්ගලයන් ලෙස සමාජගත වීමට ඉඩ ඇති බව පෙන්වා දුන්නා.

එමගින් ඔවුන් නැවතත් ලිංගික අපරාධවල නිරත වීමේ අවදානමක් පවතින බැවින්, විදේශීය අධිකරණ මගින් ලබා දෙන එවැනි නඩු තීන්දු මෙරට තුළ පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

ඒ අනුව, විදේශ රටවලදී ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ ක්‍රමවේදයක් සකස් කිරීම, එවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු පොලිස් අපරාධ වාර්තා පද්ධතියට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම, ළමයින් සමඟ කටයුතු කරන ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී අනිවාර්ය පසුබිම් පරීක්ෂාවක් සිදු කිරීම සහ නැවත අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අවදානම මත පදනම් වූ නීත්‍යනුකූල අධීක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ සඳහා අවශ්‍ය නීති සංශෝධන හෝ නව නීති හෝ හඳුන්වාදීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුණා.

මීට අමතරව, මෙරට පරිවාස භාරයේ පසුවන දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

ඒ අනුව, පරිවාස භාරයේ පසුවන චූදිත දරුවන් සහ වින්දිත දරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සෑම මාස හයකට වරක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සහ චර්යාත්මක
වාර්තාවක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා වුණා.

එමෙන්ම, පළාත් සභා යටතේ පාලනය වන පරිවාස ආයතන මධ්‍යම රජය යටතට පවරා ගැනීමේ හැකියාව සහ එම ආයතනවල ප්‍රධාන තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමේදී පරිවාස සේවයේ පළපුරුදු නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

තවද, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සහ 1999 අංක 37 දරන නඩත්තු පනත ඇතුළු කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ පනත් කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

එසේම, දරුවන් සහ කාන්තාවන් සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.

රජයේ රස පරීක්ෂකවාර්තා ප්‍රමාද වීම හේතුවෙන් අධිකරණ තීන්දු ලබා දීමේදී ඇති වන ප්‍රමාදය පිළිබඳව
ද මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් විසඳුම් සහ විධිමත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද කාරක සභාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන්නා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ගරු සාමාජිකා ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි සහ සංසදය විසින් පත් කරන ලද අනු කමිටුවේ ගරු සාමාජිකාවන් වන සමන්මලී ගුණසිංහ, නීතිඥ තුෂාරි ජයසිංහ , නීතිඥ නිලන්ති කොට්ටහච්චි
නීතිඥ අනුෂ්කා තිලකරත්න සහ නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහභාගී වුණා.

එසේම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.