මිල්ලනිය ප්රාදේශීය සභාවේ අයවැය සම්මත කර ගැනීමේ විශේෂ මහ සභා රැස්වීම අතරතුර කලහකාරී ලෙස හැසිරී රාජ්ය දේපළට හානි සිදු කිරීම සහ රාජකාරියට බාධා කිරීම චෝදනා ලැබූ එම සභාවේ විපක්ෂ මන්ත්රීවරුන් දෙදෙනෙකු අද (26) පොලිසිය විසින් අතදන්ගිවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් සභාවට තේරීපත් වූ මන්ත්රීවරුන් දෙදෙනෙකු වන ගිහාන් පෙරේරා හා ජගත් තුෂාර මලවිගේ යන දෙදෙනා යි.
පසුගිය 20 වැනිදා පැවති මෙම විශේෂ මහ සභා රැස්වීමේදී ඇති වූ කලහකාරී හැසිරීම, ලේකම්වරයාට පහරදීමට උත්සාහ කිරීම, ලේඛන උදුරා ගැනීම, රාජ්ය දේපළ වලට හානි සිදු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ප්රාදේශීය සභාවේ ලේකම් සම්පත් උඩුමුල්ල විසින් මිල්ලනිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් එදින සවස කර තිබුණා. .
මෙම චෝදනා ලැබූ මන්ත්රීවරුන් දෙදෙනාද ඔවුන්ට පහරදුන් බවට චෝදනා කරමින් එදිනම සවස පොලිසියට පැමිණිලි කර රොහල්ගත වීමට කටයුතු කර තිබෙනවා.
ලේකම්වරයාගේ පැමිණිල්ලට අනුව මොවුන් අත්අඩංගුවට නොගත් බව සහ රාජ්ය නිලධාරීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් විසින් පසුගිය 23 දා සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වීමටද කටයුතු කරනු ලැබුවා.
මෙම මන්ත්රීවරුන් දෙදෙනා දිගින් දිගටම පොලිසිය මගහරිමින් සිට ඇති අතර පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී ජගත් තුෂාර මලවිගේ මන්ත්රීවරයා අද (26) අළුයම වාහනයකින් ගමන් කරමින් සිටියදී එම මන්ත්රීවරයාගේ නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් අනතුරුව අද (26) පෙරවරුවේ අනෙක් මන්ත්රීවරයා ද පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.
සැකකාර මන්ත්රීවරුන් දෙදෙනා අද (26) දිනයේදීම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
මිල්ලනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










