ජනාධිපති පොදු සමාව අවභාවිතා කිරීමේ නඩුවක් ලබන වසරට කල් යයි

ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් සිරගත කළ සිරකරුවකු අනිතික ආකාරයට බන්ධනාගාරයෙන් නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතාට එරෙහිව පනවා ඇති නඩුව මාර්තු 19 යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (20) නියෝග කළා.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරගත කළ සිරකරුවකු අනිතික ආකාරයට බන්ධනාගාරයෙන් නිදහස් කළ බව සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය කළා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට එදින අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පැමිණිල්ලට නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, අධිකරණය හමුවේ කරුණු දක්වමින් වෙසක් දින සමාව යටතේ නිදහස් කෙරුණු අතුල තිලකරත්න නමැති පුද්ගලයා සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ පළ කර තිබූ මාධ්‍ය වාර්තාවක් පිළිබඳව මෙම සැකකරු අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරියට ලිපියක් යවා තිබූ බවයි.

එමෙන්ම විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, සිද්ධිය සම්බන්ධව සැකකරු කටයුතු කර ඇති ආකාරය සම්බන්ධව පැමිණිල්ලට ඇති වූ සැකය සාධාරණ සැකයෙන් ඔබ්බට ගිය පැහැදිලි සැකයක් බවට තහවුරු වී ඇති බවයි.

“ඉතුක් වෙසක් පොහොය දින අනුරාධපුර බන්ධනාගාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබූ සිරකරුවන් 36 දෙනාට අමතරව තවත් සිරකරුවන් තිදෙනෙකු අනීතික ආකාරයෙන් නිදහස් කර ඇති බව මේ වනවිට සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියට යටතේ ජනාධිපතිවරයාට හිමිවන බලතල අනුව ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක් පවතිනවා , ඒ බන්ධනාගාර 28 තුළ තියෙන සිරකරුවන් රජයේ සුවිශේෂි දින වලදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරනවා. එනම් වෙසක් පොහොය, නිදහස් දිනය නත්තල් දිනය වැනි දිනවල තෝරාගත් සුදුසුකම් ලද සිරකරුවන් නිදහස් කරනවා. අංශ හතරක් යටතේ සමාව ලැබීමට සුදුසු සිරකරුවන් නිර්දේශ කරනවා. 2025/5/12 නිකුත් කළ ඇති චක්‍ර ලේඛනය අනුව සැකකරුවෙක් හට වසරක සිර දඬුවමක් හිමිවී එය අවසන් වීමට සතියක කාලයක් තිබේනම් ඔවුන්ට ජනාධිපති සමාව හිමි වෙනවා , දෙවැනි පිරිස වන්නේ දඩ මුදල් නියම වී එය ගෙවීමට අපහසු වීම හේතුවෙන් සිරගත වන සිරකරුවන්. ඔවුන්ට ජනාධිපති සමාව යටතේ ගෙවීමට ඇති දඩ මුදල් ශේෂය අහෝසි කරනවා. තුන්වෙනි කාණ්ඩය වන්නේ දඩ මුදල් භාගයක් ගෙවා ඉතිරිය ගෙවා දැමීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්. ඔවුන්ට ජනාධිපති සමාව යටතේ ගෙවිමට ඇති ඉතිරි ඇති දඩ මුදල් ශේෂය අහෝසි කරනවා. හතරවෙනි කාණ්ඩයේ වන්නේ වසර තිහකට අධික කාලයක් බන්ධනාගාර වී ඉන් වසර විස්සක් අවසන් කර තිබෙන පිරිස. ඔවුන්ගේ ඉතිරි දඩුවම් කාලය ජනාධිපති සමාව යටතේ අහෝසි කරනවා”

“මේ අංශ හතර යටතේ ඒ ඒ බන්ධනාගාර වල බන්ධනාගාර අධිකාරීවරුන් ජනාධිපති සමාවට නිර්දේශ කරන සිරකරුවන්ගේ නම් ලැයිස්තු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරනවා. ඔහු විසින් අධිකරණ අමාත්‍යංශ ලේකම්ට යොමු කර පසුව එය ජනාධිපති ලේකම්වරයාට යොමු කරනවා. එලෙස නිර්දේශ කිරීමෙන් පසුව ජනාධිපතිගේ අත්සන යොදනු ලබනවා. ස්වාමීනී පසුගිය වෙසක් දිනයට මේ ආකාරයට 388 දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබෙනවා. හැබැයි ඒ ලැයිස්තුවේ මේ ප්‍රශ්නගත සිද්ධියට අදාල අතුල තිලකරත්න සැරකරුගේ නම සඳහන් නෑ. ඒ අනුව ස්වාමීනි මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරීමට තිබෙන බව විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා.

“ස්වාමීනී, මේ සැකකරු විසින් ජුනි මස 6 වනදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට යැවූ ලිපිය සමඟ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් එවූ බව කියන ලිපියකුත් යවා තිබෙනවා. අනුරාධපුර බන්ධනාගාරයෙන් ලැබුණු ලිපිය සම්බන්ධයෙන් අපට විශාල සැකයක් තිබෙනවා. මොකද මේ අනුරාධපුර ලිපිය එවපු දිනය පිළිබඳ මුද්‍රාවක් නැහැ. ලැබුණු දිනය පිළිබඳ මුද්‍රාවකුත් නෑ. එම ලිපියේ ලිපි ගොනු අංකය සඳහන් වන්නේත් නැහැ. රාජ්‍ය ආයතනයකට මෙයාකරයෙන්
ලිපි යවන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපට විශාල සැකයක් තිබෙනවා මේ සැකකරු තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කිරීම සඳහා මෙම ලිපිය සකස් කරන්නට ඇති බවට. මොකද රාජ්‍ය ආයතනයක උසස් නිලධාරියෙකුට මේ ආකාරයෙන් ලිපි යවන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ලිපිය සැක සහිතයි. ජනාධිපති සමාවට මුවාවී නිදහස්ව ගිය පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා. ලැයිස්තුවලට පිටින් නිදහස්ව ගිය පුද්ගලයින් ගැනත් මේ විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා.
මොහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. මොහුට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා නීති විරෝධී ආකාරයට පුද්ගලයින් නිදහස් කරවීම පිළිබඳව විමර්ශන සිදුකරන අවස්ථාවක ඔහුට ඉදිරියේදීත් අප ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. යනුවෙන් ද පෙර නඩු දිනයකදි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා මෙලෙස සඳහන් කළා.

“අතුල තිලකරත්න නමැති සිරකරු අනිතීක ලෙස නිදහස් කිරීමට අනුබල දුන්නා යැයි කියලා මගේ සේවාදායකයා කෙරෙහි අඹ මල් රේණුවකවත් සාක්ෂියක් මේ වනතෙක් ඔප්පු වෙලා නැහැ.ජනාධිපතිතුමා තඹුත්තේගම නිසා ජනතාව අතර ජනාධිපතිතුමා කෙරෙහි අපකීර්තියක් ඇති කිරීම සම්බන්ධයෙන් තමයි මෙම ක්‍රියාව සිදුකර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා තමයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන්නේ. මෙම සිද්ධියට අදාල අතුල තිලකරන්න අද වෙනකන් අත්අඩංගුවට ගෙන නැහැ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකුට ලැබෙන ආඥා පනතේ අනුව සැකකරුවන් නිදහස් කිරීමේ යම් බලතල හිමි වෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරම්භ කරපු කාලේ ඉඳන් මෙහෙම සිරකරුවන් කීප දෙනෙකු නිදහස් වීම සිදුවෙලා තිබෙනවා.එහෙනම් මෙම සිද්ධියට අදාලව බලනකොට ස්වාමීනි. එම බන්ධනාගාර නිලධාරීවරුන්ද අත්අඩංගුවට ගත යුතුය” යනුවෙන් නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් නඩුව මාර්තු 19 දක්වා කල් තැබූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?