ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පැවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට ලබන වසරේ මාර්තු මස 04 වැනිදා කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ද නියෝග කළා.
නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටින්නේ, ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල මහජනතාවට අනතුරුදායක උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට පොලීසිය කටයුතු කළ බවයි.
මෙවැනි අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 05ක වන්දියක් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.













