ගාල්ල – මිරිස්ස මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා යාත්‍රාවක් තල්මසකුගේ ශරීරය මතින් ගමන් කළ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් වීඩියෝවක් සමාජ මධ්‍යවෙත පසුගියදා එක්කර තිබුණා.
අසැබි වචන පාවිච්චි කරමින් බැන වදින එම පුද්ගලයා විසින් නාවික හමුදාවට සිදුකරන බරපතළ චෝදනාව පිළිබඳ විමර්ශන කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල පොලිසියට ඊයේ (04) පැමිණිල්ලක් සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ.
තල්මසුන් නැරඹීමට සංචාරකයින් රැගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මගී යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා (03) මිරිස්ස මුහුදු ප්‍රදේශයේ තල්මසෙකුගේ ශරීරය මතින් ගමන් කළ බවට චෝදනා කර බැන වඳිමින් පුද්ගලයෙක් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.
මේ සම්බන්ධයෙන් දසත නිවුස් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සිදුකළ විමසීමක දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඩොල්ෆින් මසුන්, තල්මසුන් පමණක් නොව කැස්බෑවුන් පවා නාවික හමුදාව මගින් මුදාගත් අවස්ථා ඇති බවත්, සමුද්‍ර ජීවීන් සහ සමුද්‍රය ආරක්ෂාවන පරිදි කටයුතු කිරීමට සෑම අවස්ථාවකම වගකීමෙන් යුතුව කටයුතු කරන හමුදාවක් බවයි.
තල්මසකු මතින් යාත්‍රාව ධාවනය කරවූ බවට එම පුද්ගලයා පැවැසුවත්, ඔහු සිටි බෝට්ටුවේ කිසිදු විදෙස් සංචාරකයකුගේ හැසිරීමක වෙනසක් හෝ ප්‍රතිචාරයක් දක්නට නොලැබෙන බවත්, අදාළ චෝදනාව පිළිබඳ විමර්ශනයක් ඉල්ලා පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට මෙලෙස කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.




