රුපියල් කෝටි දෙසීයක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් කිලෝග්‍රෑම් 172 ක මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් ධිවරයන් පස් දෙනා ලබන 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(6) නියෝග කළා.
සිද්ධියට අදාල මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බී වර්තාවක් ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් පස් දෙනාට මත්ද්‍රව්‍ය තොගය ලබා දුන්නේ යැයි කියන ඩුබායිහි සැඟව සිටින අකිල සෙහාන් නමැති සහ ගන්දර පදිංචි සපුන් ටෙලාන් නමැති පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කර ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දින හතක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කළ නවෝත්, පුබුදු ,අදීශ ,ලක්ෂිත අවිශ්ක සහ සත්සර සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
මත්ද්‍රව්‍ය ආනයනය කිරීම ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා මුහුදු ගිය සැකකරුවන් පස් දෙනා පොරඋර 11ක බහාලු මත්ද්‍රව්‍ය තොගය සමඟ පසුගිය 23 දින දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව පැවසූ පොලිසිය සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඩුබායි රටේ සැඟව සිටින පුද්ගලයා ගැන හා ගන්දර ප්‍රදේශයේ සැකකරු ගැන තොරතුරු අනාවරණය වූ බව සඳහන් කළා.














