රුපියල් දෙකෝටි අසූ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගීන් 13 දෙනෙක් අද (02) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් සියලුම දෙනා වයස අවුරුදු 28 ත් 45 ත් අතර පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් පිරිසක් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් අද (02) දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා සහ බතික් එයාර් ගුවන් සේවා යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 22ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 189,600ක් අඩංගු දුම්වැටි කාටූන් 948ක් සගවා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා .













