කෝටි ගණනක විදෙස් දුම්වැටි සමඟ 04 දෙනෙක් මාට්ටු

රුපියල් එක් කෝටි අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ, විදේශීය ගුවන් මගීන් සිව් දෙනෙක් අද (01) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 35 සීමාවේ පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් සිව්දෙනෙක් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (01) දින අලුයම 12.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට, තායි එයාර්වේස් ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ මෙම චීනයේ නිෂ්පාදිත 72,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 360 ක් සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.