AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා ආවට පස්සෙ අම්මාව දැක්කේ ටී වී එකෙන් විතරයි

හරියටම අවුරුද්දකට පෙර ලංකාවේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වුණේය. ඇය ලංකාවේ සංචාරයකට පැමිණි චීන කතකි. ඒ කාලයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වූයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහය.

දිනක් ඔහු තම ඇමැතිවරිය අමතා රහසක් හෙළි කළේය. ‘‘චීන ජාතික කොවිඩ් කාන්තාව අපි හොඳ කළා. මෙය ඓතිහාසික අවස්ථාවක්. අපි සුබ පතන්න යනවා’’ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය.

‘‘ඉන්න මමත් එනවා’’ කියමින් ඇමැතිවරිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට පැමිණියාය. ඇමැතිවරිය චීන කතට සමුදුන්නේ ඇය තුරුලට ගෙන හාදුවක් දෙමිනි.

සෞඛ්‍ය ඇමැතිවරිය ගෙදරට ආ විට ඇගේ සැමියා වන කාංචන ජයරත්න මෙසේ ඇසුවේය. ‘‘මොකද අර චීන කාන්තාව බදාගත්තේ?’’

‘‘මම උත්සවයට ගියා. මගේ හිතේ උපන් මානුෂීය ගතිය නිසා මම චීන කාන්තාව බදාගත්තා. හදවතේ ආපු ලෙන්ගතුකම. මම කළේ රඟපෑමක් කියලා කට්ටිය කියනවා. ඇමැතිවරියක් වුණාට මමත් අම්මා කෙනෙක්. මට කඳුළුත් ආවා’’ ඇය සැමියාට උත්තර දුන්නාය.

එදා ලංකාවෙන් හමු වූ මුල්ම කොරෝනා රෝගියා සුව වී ගෙදර යන දවසේ ඇයට සමු දෙන්නට අයිඩීඑච් රෝහලට ගිය සෞඛ්‍ය ඇමැතිතුමිය දැන් ඒ රෝහලේම ප්‍රතිකාර ලබන්නීය. රෝගී වූ සිය බිරිය බලාකියා ඇයට උවටැන් කරන්නට කාංචන ජයරත්නට ඉඩක් නැත. ඒ ඔහුත් නිරෝධායනය වෙමින් සිටින බැවිනි. බිරිය ගැන තොරතුරු දැන ගැනීමට අප කාංචනට කතා කළ මොහොතේ ඔහු වසරක අතීතයට ගියේය.

‘‘කොරෝනා හැදුණු චීන කාන්තාවට හාදුවක් දීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වෛද්‍යවරුන්ද ඇසුවා. එතකොට ඇමැතිතුමිය කීවේ ඒ තමයි පවිත්‍රාගේ හැටි කියලා.’’

ඒ කතාව නම් සහතික ඇත්තය. කොරෝනාවලට පමණක් නොව, ඈ ඉස්සර ඉඳලාම ප්‍රසිද්ධ වී සිටියේ යකෙකුටවත් බය නැති ගෑනියක් ලෙසය. ප්‍රේමදාස යුගයේ ඇඹිලපිටියේ සිසුන් මරා දමා සූරියකන්දේ වළලා දමා තිබියදී එම සිරුරු ගොඩගන්නට මුල් වූ ‘යකඩ ගැහැනිය’ වූයේ ඇය ය. පොළොව යට සදාකාලිකව වැළලී යන්නට තිබූ ඒ බිහිසුණු ඝාතනය අව්ව වැස්ස, රැය දවාල නැතිව ඇය සූරියකන්ද නගිමින් ලොවට හෙළි කළාය.

කොරෝනාව ලංකාව වට කරද්දී ‘යකඩ ගැහැනිය’ යළි කරලියට ආවාය.

‘‘කොරෝනා ආවට පස්සෙ ඇය රාජකාරි කළේ රැයක් දවාලක් බලන්නේ නැතිව. සමහර දිනවල වැඩ ඉවර වෙනකොට මධ්‍යම රාත්‍රියත් පැනලා. දරුවෝ දෙන්නා කියනවා අම්මා දකින්න වෙන්නේ රූපවාහිනියෙන් කියලා. අපි වැඩ ඉවර වෙලා එනකොට දුවලා දෙන්නා නිදි. සමහර වෙලාවට කෑම ගන්නෙ වාහනේ ඉඳලා’’ කාංචන සිය අතීත මතක සටහන් මුසු කළේය.

‘‘අමාත්‍යාංශයේ සෑම දිනකම උදෑසන 8.30ට කොවිඩ් රැස්වීමක් තිබුණා. සවස රාජගාරියේ කොවිඩ් මධ්‍යස්ථානයේ රැස්වීම් තිබුණා. ඇමැතිතුමිය සෑම රැස්වීමකටම කණ්ඩායම් හැඟීමෙන් සහභාගි වී වෛද්‍ය උපදෙස් මත තීන්දු තීරණ ගත්තා’’ කාංචන ජයරත්න කියන්නේ ඈ කොරෝනා මුල් රැල්ල මැඬලීමට වෙහෙස මහන්සි වූ ආකාරය සිහි කරමිනි.

මෙම රැස්වීම්වලදී රෝහල්වල අඩුපාඩු, නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රසායනාගාර සේවාව, අවශ්‍ය සේවක ප්‍රමාණය, ගිලන් රථ සේවාව, උපකරණ, යන්ත්‍රසූත්‍ර පිළිබඳව, දැඩි සත්කාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව, අත් සෝදන ද්‍රව්‍ය ඇතුළු කී නොකී සෞඛ්‍ය සේවාවට අදාළ සියලු කරුණු කෙරෙහි සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය වගබලා ගත්තාය. ප්‍රශ්නවලට ඇය ක්ෂණික විසඳුම් දුන්නාය. යුද හමුදාපතිවරයා සමග සම්බන්ධව ජාතික ක්‍රියාන්විතයටද සහයෝගය දුන්නාය. යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණයේ මූලික පුරුක වූයේද ඇයයි.

‘‘ඇය රෝහල්වලට ගියේ බය නැතිව. කොවිඩ් රෝගීන් ඉන්නවාද කියා බැලුවේ නැහැ. කොවිඩ් මර්දනය කර ජනතාව බේරාගන්න තමයි කැපවුණේ. දේශපාලන චරිතයක් රඟපෑවේ නැහැ’’ ඇය සමග හැම තැනම කොරෝනා මර්දනයට ගිය කාංචන ජයරත්න පැවසුවේ ඉතාම හැඟුම්බරවය.

‘‘ඇමැතිතුමිය හැම කෙනාටම උපදෙස් දුන්නා මෙය මාරාන්තික රෝගයක්, මුඛ ආවරණ දාන්න කියලා’’ සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයන්ද කියා සිටියේ ඇය මවක මෙන් දුන් උපදෙස් සිහි ගන්වමිනි. කොරෝනා මර්දන කටයුතු අතරතුරේ ඇය රත්නපුරේ වැඩත් බලාගත්තේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රැස්වීම්වලදී ආයතන ප්‍රධානීන් විවිධ ගැටලු ඉදිරිපත් කරති. පළමු කොවිඩ් රැල්ල පැවති අවස්ථාවේදී ඖෂධ හිඟයක් ඖෂධ ගබඩා තුළ පැවතිණි. ක්ෂණිකව ජනාධිපතිවරයා ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරිය කාරණය පැහැදිලි කළාය. ඖෂධ ගෙන්වීමට ගුවන්යානයක් දීමට ජනාධිපතිවරයා පොරොන්දු විය. ගුවන් මගින් කඩිනමින් ඖෂධ ගෙන ඒමට සැලසුම් කෙරුණි. එහෙත් නිලධාරීන් කියා සිටියේ මූල්‍ය ප්‍රශ්න ඇති බවයි. ‘‘මම රත්නපුරේ තියෙන ඉඩමක් විකුණලා සල්ලි දෙන්නම්. ජනතාවට ඖෂධ නැහැ කියන්න එපා’’ ඇය පැවසූ පිළිතුරෙන් නිලධාරීන් නිරුත්තර විය. ‘‘ඇගේ උත්සාහයට තමයි ඒ වෙලාවේ ඖෂධ ගෙනාවේ’’ කාංචන කියන්නේය.

කොවිඩ් මර්දන කටයුතු පිළිබඳ සාකච්ඡාවක නිරත වෙමින් සිටි සෞඛ්‍ය ඇමැතිවරිය හමුවීමට දිනක් රෝගියකු පැමිණියේය. ‘‘ඇමැතිතුමිය මම ස්කෑන් එකක් කරන්න ජාතික රෝහලට ගියා. පොරොත්තු ලේඛනයේ ඉන්න කීවා. එම නිසා ස්කෑන් එක ඉක්මනින් කරගන්න උදව් කරන්න’’ එම රෝගියා බැගෑපත්ව ඉල්ලුවේය. සිත උණු වූ සෞඛ්‍ය අමාත්‍යවරිය ජාතික රෝහලට කතා කර කරුණු විමසුවාය. එතැන් සිට වූ සිද්ධිය ඇසින් දුටු සාක්ෂිය ඇගේ පෞද්ගලික ලේකම්වරයාය.

පවිත්‍රා සිය මුදල් පසුමිබිය අතට ගෙන රෝගියා අත රුපියල් 5000ක් තැබුවාය. ‘‘මම දොස්තර මහත්තයට කතා කළා. කොළඹ පෞද්ගලික රෝහලක මෙම ස්කෑන් කිරීම කරනවා. එතැනට යන්න’’ කියලා ඇය කීවාය. මුදල් ලබාගත් රෝගියා ඇයට වැඳ අමාත්‍යාංශයෙන් පිටව ගියේ සිනාමුසු මුහුණෙනි.

කාංචන ජයරත්න කියන විදියට කොවිඩ් දෙවැනි රැල්ල කඩිනමින් පාලනය කිරීමට නොහැකි වීම ගැන සෞඛ්‍ය අමාත්‍යවරිය පසුවූයේ දැඩි කනගාටුවකින් සහ පීඩනයකිනි. මුස්ලිම් මරණ ආදාහනය කිරී‌​ෙ‍ම් ගැටලුවද ඇයට පීඩනයක් විය. ඇතැම් විට මෙම ගැටලු හමුවේ ඇය සංවේදී වූවාය. ඇතැම් ප්‍රශ්නවලට තීන්දු තීරණ ගැනීමේ අපහසුතාවන්ද පැවතිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස තීන්දු තීරණ ගත්තද ජාතික මට්ටමේදී එය වෙනස් විය. නමුත් අමාත්‍යාංශය ගත් තීන්දු ඇතැම් විට නිවැරදි විය. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භයේදී බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් බස්නාහිර පළාත වසා දැමිය යුතු බවට වෛද්‍ය උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යවරිය නිර්දේශ කළාය. නමුත් ජාතික මට්ටමේදී තීන්දුව මෙන්ම නිර්දේශයද ප්‍රතික්ෂේප විය.

කෙසේ වෙතත් කොවිඩ් රෝගීන්ට අවශ්‍ය එන්නත ගෙන ඒමටද ඇය මහන්සි වූවාය. චීන, රුසියා තානාපතිවරුන්ද ඉන්දීය මහ කොමසාරිස්වරයාද හමුවී කතා කළ ඇය එන්නත කඩිනමින් ගැනීමට මැදිහත් විය. මේ කාලයේදී පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිතුමිය සමාජ මාධ්‍යවල ආන්දෝලනයට ලක්වූයේ ධම්මික පැණිය බීම නිසාය.

‘‘කොහොමද ඇමැතිතුමිය ධම්මික පැණිය බිව්වේ?’’ අපි කාංචන ජයරත්නගෙන් විමසුවෙමු.

‘‘දේශීය වෛද්‍ය ක්‍රම ගැන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් තිබුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, මහාචාර්ය චන්න ජයසුමනත් ඒකට ආවා. ඔය ධම්මික මහතාත් ආවා. මාධ්‍ය කණ්ඩායමකුත් ඇවිත් හිටියා. රැස්වීම ආරම්භ වෙලා ටික වෙලාවක් යනකොට තමයි මම ආවේ. මේ ධම්මික පැණිය සායනික පරීක්ෂණයකට ලක් කළ යුතු බවට කතා කළේ. එහිදී වෛද්‍ය සේනක පිලපිටියගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් පත් කළෙත් ඇමැතිතුමිය. එම රැස්වීම අවසන් කරලා ඊළඟ රැස්වීමට ගියා. එහි තිබුණේ මුස්ලිම් මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු ආණ්ඩුවට සහාය දෙන මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇවිත් හිටියා. අපි සියලු දෙනාම තේ බොන කොට අපේ රාජ්‍ය අමාත්‍යවරුන්​ දෙන්නත් ආවා. ‘මේ ධම්මික මහත්තයාට ඇමැතිතුමියට පැණි බෝතලයක් දෙන්න ඕනලු’ කියලා රාජ්‍ය ඇමැතිවරු දෙදෙනා කීවා. ‘ඒක ටෙස්ට් කරලා බැලුවොත් හොඳයි කියන කොටම මාධ්‍යයත් ආවා. ඇමැතිතුමිය තේ හැන්දට පැණි අරගෙන ලුණු බලවා වගේ රහ විතරයි බැලුවේ. ඒ පින්තූරය තමයි මාධ්‍යයේ ගියේ. අපි පැණි බෝතලය ගෙදර ගෙනාවෙත් නැහැ. බෝතලයට වුණ දේකුත් නැහැ’’ කාංචන ජයරත්න පැණි කතාව කීවේ එලෙසිනි.

කොවිඩ් පාලනයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය ​ෆේල් කියා සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කළේද මෙම කාලවකවානුවේයී. ඊට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය තීන්දු කළාය. නමුත් විශ්වාසභංගය අතරමග නතර විය. ‘‘අපිට ආරංචි වුණා සමගි බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වී‍ම්දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විශ්වාසභංගයට එරෙහිව අදහස් පළ කළා කියලා. ඉන්පසුව තමයි විශ්වාසභංගය ගෙන ඒම නතර වුණේ’’ කාංචන ජයරත්න රහසක්ද හෙළි කළේය. කොරෝනා කාලයේ පවිත්‍රා ඇමැතිවරිය සංවේදී වූ අවස්ථා ගණනාවකි. ඒ සියල්ලම දන්නේ කාංචන ජයරත්නය.

‘‘දිනක් අමාත්‍යාංශයේ වැඩ කරනකොට ආච්චි කෙනෙක් දුරකථන ඇමැතුමක් දුන්නා. අනේ ඇමැතිතුමිය, මගේ මිනිබිරියට කොවිඩ් හැදිලා. කොවිඩ් මධ්‍යස්ථානයකට ගෙනියන්න උදව් කරන්න. දරුවා දැන් ඉන්නෙ ළමා රෝහලේ. මේ පණිවුඩය ලැබුණ ගමන් අමාත්‍යවරිය ළමා රෝහ​ලේ අධ්‍යක්ෂවරයාට කතා කරලා අවශ්‍ය දේ කරන්න කීවා. නැවත විනාඩි දහයකින් විතර අර ආච්චි ආයේ කතා කළා. දරුවා තවම ගෙනිච්චේ නැහැ කීවා. යළි අධ්‍යක්ෂවරයාට දැනුම් දුන්නාම ඔහු ප්‍රකාශ කළා දරුවා රැගෙන ගියා කියලා. නැවත විනාඩි පහළොවකින් පමණ ආච්චි කතා කළා. අනේ වස්තුවේ මිනිබිරියගේ වැඩේ හරි, දැන් මමත් පොසිටිව් වෙලා කීවා. ඇමැතිතුමිය ඇයද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කළා’’ යැයි කාංචන ජයරත්න කියන්නේය.

මේ අතරේ ජනවාරි මස 20 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී රැස්වීම් පැවැත්විණි. ඒ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. දිස්ත්‍රික් මට්ටමින් පැවති සෑම රැස්වීමකටම පවිත්‍රා සහ කාංචනද සහභාගි වූහ. ජනවාරි 21 වැනිදා පැවති රැස්වී​ෙ‍මන් පසු පිටතට පැමිණි අමාත්‍යවරිය ‘‘මට පැල්මඩුල්ලේ මළ ගෙදරකට යන්න තියෙනවා. දැන් වහින්නත් ළඟයි. ඔයා ගෙදර යන්න. මම ගිහින් එන්නම්’’ යැයි කාංචන ජයරත්නට පැවසුවාය. ඇය යළි කොළඹ පැමිණියේ පසුදින අලුයමය.

ජනවාරි මස 22 වැනි දිනද නෙළුම් මාවත කාර්යාලයේ රැස්වීම් පැවැත්විණි. ‘‘එදින උදෑසන මම කලින්ම ගියා. ඇමැතිතුමිය ආවේ ඉන්පසුවයි. නමුත් ඇයගේ ඇස් රතුවෙලා තිබුණා’’ යැයි කාංචන ජයරත්න පැවසුවේය. ‘‘මගේ ඇඟට අමාරුයි. මම ජාතික රෝහලට ගිහිල්ලා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කරන්නම්’’ යැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය පරීක්ෂණය කර යළි නෙළුම් මාවතටම පැමිණියාය. ‘‘ටික වෙලාවකින් ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මට කතා කළා. ඇමැතිතුමියගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය පොසිටිව් වෙලා’’ කාංචන කීවේ හැඟීම්බරවය. මෙම පුවත කන වැකුණ ඔවුන් දෙදෙනා රැස්වීමට බාධාවක් නොවන අයුරින් පිටතට පැමිණියහ. පැමිණ යළි ජාතික රෝහලට ගොස් පීසීආර් පරීක්ෂණයක්ද කරන ලදී. කාර්ය මණ්ඩලයට සහ සිය කනිටු දියණියද පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අමතක නොකළාය.

එදින රාත්‍රි දහයට පමණ ප්‍රතිඵල ලැබුණි. අමාත්‍යවරිය පොසිටිව් වුවත් අන් අය නෙගටිව් විය. වහාම ගිලන් රථයක් කැඳවිණි. ‘‘ඔයා අයිඩීඑච් යන්න’’ කාංචන කීවත් ඇය ප්‍රතික්ෂේප කළාය. ‘‘මට අමාරු වුණොත් විතරක් අයිඩීඑච් යමු. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති හික්කඩුවේ කොවිඩ් සෙන්ටර් එකට යමු. මට කන්න අමාරුයි, බොන්න මොනවා හරි තිබුණොත් හොඳයි’’ යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියාය. සිය මව රෝගාතුර වීම සම්බන්ධයෙන් දියණියන් වික්ෂිප්තව හැඬූ කඳුළින් සිටීම සෞඛ්‍ය අමාත්‍යවරියටද දරාගත නොහැකි විය. ‘‘එය හරිම සංවේදී අවස්ථාවක්. දරුවෝ දුක් වෙනවා. පීඑච්අයි මහත්වරු ඇවිත් ගේට්ටුවේ නිරෝධායනය වන නිවසකි යන දැන්වීමක් ඇලෙව්වා’’ යැයි කාංචන ජයරත්න කීවේ සෞඛ්‍ය ඇමැතිවරිය සිටි නිවසටත් පීඑච්අයි මහත්වරු එක හැන්දෙන්ම බෙදූ ආකාරය කියමිනි.

හික්කඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සෞඛ්‍ය අමාත්‍යවරිය දෛනිකව නිවස හා දුරකථනයෙන් සම්බන්ධ වූවාය.

‘‘දින දෙකක් විතර යනකොට අමාත්‍යතුමිය කීවා ඔළුව රිදෙනවා, කන්න බැහැ කියලා. මම කීවා වෙනත් රෝහලකට යමු කියලා. ඇමැතිතුමිය බැහැ කීවා. නමුත් අවසානයේ අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ සමග කතා කරලා ඇය කොතලාවල විශ්වවිද්‍යාලයේ රෝහලට රැගෙන ආවා. හැබැයි ඇමැතිතුමිය අකමැති වුණා. එම රෝහලේ වෛද්‍යවරු කතා කරලා විස්තර කීවා. මම අයිඩීඑච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට කතා කරලා මේ ගැන තොරතුරු කීවා. ඔහු ප්‍රකාශ කළා මම ගිහින් බලන්නම් කියලා. ඒ අනුව ඔහු රාත්‍රියේ ගොස් අමාත්‍යතුමියව පරීක්ෂාවට ලක් කළා’’ යැයි කාංචන ජයරත්න කීවේය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ නිර්දේශය වූයේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අසතුටුදායක බවකි. කඩිනමින් තවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතු බව වෛද්‍ය නිර්දේශය විය. ඒ අනුව කළ පරීක්ෂණවලින් පසු සෞඛ්‍ය අමාත්‍යවරිය වහාම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරිණි.

‘‘මම ඇමැතිතුමිය බේරාගන්නම්. ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මට වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කීවා’’ යැයි කාංචන ජයරත්න පැවසුවේ සිය බිරිඳ සතියක පමණ කාලයක් නොදැකීමේ ශෝකයත් සමගිනි.

‘‘ඇමැතිතුමිය රෝහල්ගත කළ අවස්ථාවේ සිටම අගමැතිතුමා ඇතුළු රජයේ මැති ඇමැතිවරු සියලු දෙනාම පක්ෂ භේදයක් කතා කළා.’’ කාංචන ජයරත්න කීවේය.

පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය ගැන හැමදාමත් තොරතුරු විමසූ දේශපාලනඥයන් අතරේ විශේෂ චරිතයක් සිටින්නීය. රට්ටු අතර ඇය ප්‍රසිද්ධ වී ඇත්තේ ඇමැතිවරියගේ රත්නපුරේ ප්‍රතිවාදිනිය ලෙසය. ඇය තලතා අතුකෝරලය. රට්ටු එසේ සිතුවාට තලතාත්, පවිත්‍රාත් පුංචි කාලේ සිටම මිතුරියෝය. ඉස්කෝලේ පමණක් නොව, නීති විද්‍යාලයේ ඔවුන් දෙන්නා ගියේ එකටය.

මිණිපුරයේ වන්නිආරච්චි සහ අතුකෝරල පවුල් දෙකම දේශපාලනයට උරුමකම් කියති. ඉඩකඩම්, යානවාහනවලින් අඩුවක් නොමැති මෙම පවුල් දෙකේ පවිත්‍රා මෙන්ම තලතාද මූලික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාලයෙනි. ඉන්පසු පවිත්‍රා නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයට පිවිසියාය. තලතා අතුකෝරලද නීති විද්‍යාලයට පිවිසියාය. පෞද්ගලික ජීවිතවලටත් සමීප සබඳතාවක් ඇති මෙම මිතුරියන් දෙදෙනා සෑම විටම විපක්ෂයේ සිටියද, ආණ්ඩු පක්ෂයේ සිටියද දේශපාලනය සිය මිතුරුකමට බාධාවක් කරගත්තේ නැත. මිතුරිය කොවිඩ් වැලඳී ඇති බව ආරංචි වූ දින සිට තලතා සුවදුක් විමසීමටද අමතක නොකළාය.

‘‘ඇමැතිවරිය අයිඩීඑච් රෝහලට ගෙනාවා කියලා දැනගත්තාම තලතා මන්ත්‍රීතුමිය රෝහලේ ගේට්ටුව ළඟට ඇවිත් සිටියා’’ කාංචන ජයරත්න කීවේය. ඒ කතාව පාට, පක්ෂවලට බෙදී ගහමරා ගන්නා අයට කදිම පාඩමක් කියා දෙන්නේය.

උදයජීව ඒකනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?