තමන්ගේ නවතම චිත්‍රපටය වන ‘තග් ලයිෆ්’ චිත්‍රපටය දැනට කර්ණාටක ප්‍රාන්තයේ තිරගත නොවන බව දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන කමල් හසන් පවසනවා.
එමෙන්ම තමන් සිදුකළ ප්‍රකාශයට සමාව අයැදීම ද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පසුගිය මාසයේ ඔහුගේ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර කන්නඩ භාෂාව පිළිබඳව ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට විරෝධයක් මතුව තිබෙනවා.
“දෙමළ නිසා කණ්නඩ බිහිවුණා” යනුවෙන් කමල් හසන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව මෙම විරෝධය ගොඩනැඟුනා.
මේ හේතුවෙන් ඔහුගේ ‘තග් ලයිෆ්’ චිත්‍රපටය කර්ණාටක ප්‍රාන්තයේ තිරගත නොකරන ලෙසයි විරෝධතාකරුවන් පැවසුවේ.
කමල් හසන්ගේ නිෂ්පාදන සමාගම අද (03) කර්ණාටක මහාධිකරණයට දැනුම් දෙමින් කියා සිටියේ සමාව අයැදීමට කිසිවක් නොමැති බවත්, ඔහුගේ ලිඛිත ප්‍රකාශය කර්ණාටක චිත්‍රපට වාණිජ මණ්ඩලයේ (KFCC) සමාව අයැදීමේ ඉල්ලීම වෙනුවෙන් යොමු කළ බවයි.
මේ අතර කර්ණාටක මහාධිකරණය අද (02), චිත්‍රපට ප්‍රවර්ධන වැඩසටහනක දී කමල් හසන් කළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරනු ලැබුවා.
කන්නඩ භාෂාව දෙමළ භාෂාවෙන් උපත ලැබූවක් බවට සිදුකළ ප්‍රකාශය සංශෝධන කිරීමට අද (03) පස්වරු 2.30 දක්වා ඔහුට කාලය ලබා දී තිබුණා.
කමල් හසන් ජනප්‍රිය චිත්‍රපට තරුවක් විය හැකි නමුත් එය ඔහුට මහජන හැඟීම් රිදවීමට ඉඩ නොදෙන බවයි අධිකරණය සඳහන් කළේ.
කමල් හසන් ඔහුගේ ‘තග් ලයිෆ්’ චිත්‍රපටය කර්ණාටක ප්‍රාන්තය තුළ නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කර්ණාටක මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය මේ බව පැවසුවා.
මේ අතර ‘තග් ලයිෆ්’ චිත්‍රපටය අනිද්දා සිට ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හැර ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරෙනවා.













