ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර සලකා බැලීම මේ මස 22 වනදා දක්වා කල් දැමීමට අභියාචනාධිකරණය නියෝග කළා.
එදින තෙක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ප්‍රකාරව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ලබාදෙන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙම පෙත්සම අද (20) සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ක්‍රීඩා අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ක්‍රිකට් අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර සිටියේ මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා තම සේවාදායකයින් මූලික විරෝධතා මතු කරන බවයි.
මෙහිදී විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුවට අදාළ නොතීසි දැනටමත් නිකුත් කර ඇති නිසා මූලික විරෝධතා මතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දුන් වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු කියාසිටියේ අදාළ අතුරු තහනම් නියෝග ලබාගෙන තිබෙන්නේ අධිකරණයට කරුණු වසන් කරමින් බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.
ඉන් අනතුරුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සිය මූලික විරෝධතා ඉදිරිපත් කරනු ලැබූවා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
“පෙත්සම්කරු මේ පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ පුද්ගලික පදනමකින්. ඒ නිසා මෙය මහජන සුභසාධන නඩුකරයක් ලෙස සලකන්න බෑ, එසේම මෙම නඩුකරය පවත්වාගෙන යාමට පෙත්සම්කරුට නීතිමය හැකියාවක් නැහැ. ක්‍රිකට් ආයතනයට මෙවැනි නඩුකරයක් ගොනු කළ හැක්කේ ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයින්ගේ යෝජනා සම්මතයකින් පමණයි. එහෙත් මෙම නඩුව පැවරීම සදහා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සහ එහි සාමාජිකත්වයේ යෝජනා සම්මතයක් ලැබී නැහැ. මේක පෙත්සම්කරු අධිකරණයට සිදුකළ කරුණු වසන් කිරීමක්. මේ ආකාරයෙන් කරුණු වසන් කිරීම තුළින් තමා මේ අතුරු නියෝග ලබාගෙන තිබෙන්නේ.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා එබැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා.
වග උත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක අධිකරනය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු මෙම අතුරු තහනම් නියෝග ලබාගෙන තිබෙන්නේ සත්‍ය කරුණු හා අධිකරණය නොමග යවන සුළු තොරතුරු ඉදිරිපත් කිරීම තුළින් බව චෝදනා කළා.
“මෙම පෙත්සම සලකා බැලීමට පෙරදා වග උත්තරකරු වෙත නොතීසි නිකුත් කළ බව පෙත්සම්කරු අධිකරනය හමුවේ ප්‍රකාශ කර තිබුණා. එහෙත් සත්‍ය වශයෙන්ම නොතීසි භාර දී තිබුණේ නෑ. වග උත්තරකරුට නොතීසි ලැබුණේ අතුරු තහනම් නියෝග නිකුත් කළාට පසුවයි. ඒ නිසා අධිකරනය හමුවේ කරුණු වසන් කරමින් තමා මෙම අතුරු නියෝග ඒක පාක්ෂිකව ලබා ගෙන තිබෙන්නේ.”යනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා,
“ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇති වු දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් වාර්තාව තුළින් ක්‍රිකට් ආයතනයේ පවතින මූල්‍ය අක්‍රමිකතා, විනිවිද භාවය බිද වැටීම ආදී කරුණු අනාවරණය වුණා. ඉන් අනතුරුව තමයි අමාත්‍යවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළේ. මෙම ගැසට් නිවේදනය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා පනතට අනුකූලව තමා නිකුත් කර තිබෙන්නේ. තමාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා එය නිකුත් කළා.”
ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ නොතීසි හා ලේඛන තම සේවාදායකයින්ට මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළා
“මෙහි ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ගේ ලිපින වශයෙන් පෙත්සම්කරු විසින් ලබාදී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිනයයි. අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් ක්‍රිකට් ආයතනයේ සිටින අය නෙවෙයි. මේක පෙත්සම්කරු විසින් හිතාමතාම සිදුකළ ක්‍රියාවක්. මේක වග උත්තරකරුවන් නොමග යවන ක්‍රියාවක්. එසේම මෙම අතුරු නියෝග ලබාගෙන තිබෙන්නේ නියම කරනු වසන් කරලයි.” යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ පීරිස්,
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස පෙත්සම්කරු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත සිදුකළ බලපෑම දැක්වෙන වැදගත් ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධියට පත් කළ බවත් එම ලිපි පිළිබඳව පෙත්සම්කරු සිය නඩුකරය තුළ කරුණු වසන් කොට තිබෙන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් චෝදනා කළා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
” ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේ ඉරිදා දිනයේ. මේ ගැසට් නිවේදනය නීතියට පටහැණි මෙන්ම අත්තනෝමතික බව තමයි අපේ ස්ථාවරය වුණේ. මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ක්‍රීඩා අමාත්‍යවරයා ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතියේ මූලික සිද්ධාන්තය උල්ලංඝනය කළා. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා සංවිධානවලට දේශපාලන බලපෑම් එල්ල කළ බව තහවුරු කෙරෙන නඩු මාලාවක් පසුගිය කාලයේ අධිකරණයට ඉදිරිපත් වුණා. අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට සිදුකළ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් දැඩි අවධානයකින් පසු වුණා.” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පෙත්සම්කරු ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත් වුණේ සියලු ක්‍රිකට් සංගම්වල සහායෙන් බවත් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා,
“ක්‍රිකට් විධායක කමිටුව විසින් සිදුකළ දූෂණ පිලිබඳව විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අතිහිට වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා සිය ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙනවා. ක්‍රීඩා පනත ප්‍රකාරව විමර්ශන කටයුත්තක් සදහා ලියාපදිංචිය අත්හිටුවීමක් කරන්න බෑ. මෙවැනි ක්‍රියාවන් සිදුකිරීම සඳහා ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් ලැබෙන්නේ නෑ.”
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා,
“වර්තමාන ක්‍රිකට් ආයතනය ගැන මහජන අපකීර්තිය සහ අප්‍රසාදය පලවී ඇති නිසා ඒ පිළිබඳව සොයා බලා විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග තමා වෙත වාර්තා කිරීම සඳහා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කළ බව අමාත්‍යවරයා තම ගැසට් නිවේදනයේ සදහන් කර තිබෙනවා. අතුරු පාලක කමිටුවක් පත් කරනු ලබන්නේ ක්‍රිකට් ආයතනය පාලනය කිරීමට මිස විමර්ශන සිදුකිරීමට නොවේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර නොමැති නම් අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනය තහනම් කළේ කොහොමද? ” යනුවෙන් ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු පාලක කමිටුවට සිය සුරතලුන් පත්කිරීමට කටයුතු කර ඇති බවත් චෝදනා කර සිටියා.
තමාට නොතීසි නොලැබුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණත් මෙම නඩුව සලකා බැලූ අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණ පරිශ්‍රයේ සිටි බව මාධ්‍ය විසින් පලකර තිබූ වීඩියෝ වාර්තාවලින් අනාවරණය වන්නේ යැයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට තම සේවාදායකයා මැදිහත් වූ බවට වග උත්තරකරුවන් එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ප්‍රධාන හේතුව වුයේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත්දා නිකුත් කළ ගැසට් නිවේදනය බවත් සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව වැඩිදුර විමසීම ලබන 22 වැනි දා තෙක් කල් තැබුණා.