ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මඟින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) යළි කැදවූ අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් වැඩිදුර වාර්තාවක් ඉදිරපත් කළා.
අදාල දුරකතනයේ දත්ත සම්බන්ධයෙන් පෙරදින ලබාගත් අධිකරණ නියෝගය ඉකුත් අගෝස්තු මස 18 වැනිදා අමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කළ බවද පැමිණිල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම සිද්ධියේ මියගිය සැකකරුගේ මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව, එම වාර්තා කඩිනමින් අධිකරණයට යොමුකරන ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා වෙත සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමක් ද අධිකරණයෙන් නිකුත් කිරීම ද සිදුවුණා.
ඒ අනුව මෙම සිද්ධිය ලබන ඔක්තෝබර් මස 14 තෙක් කල් තැබිමටද අධිකරණයෙන් නියෝග කලා.













