මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය, හෙට (06) අයර්ලන්තය සමඟින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනවා.
තරගය රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.
තරගයට ප්‍රථමව පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක අද (07) පස්වරුවේ සහභාගී වුණා.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ දසුන් පවසා සිටියේ මේ වන විට කණ්ඩායමේ නිසි සමබරතාවයක් පවතින බවයි.
කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වන විට වඩා හොඳ දක්ෂතාවයන් දක්වමින් සිටින බවත් පන්දුයැවීම සහ පන්දුවට පහර දීම යන දෙඅංශයෙන්ම තමාට කණ්ඩායම සම්බන්ධයෙන් මනා විශ්වාසයක් පවතින බවත් නායක දසුන් ශානක පෙන්වා දුන්නා.
මැද පෙළ පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවට තමන් පිළිගන්නා බවත්, එලෙස අසාර්ථක වීමට ක්‍රීඩාකළ තණතීරුවල පැවති තත්ත්වය බෙහෙවින් බලපෑ බවත්, කණ්ඩායමේ පිතිකරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දසුන් කියා සිටියා.
එලෙසම ලෝක කුසලාන තරගාවලිය වඩා හොදින් ක්‍රීඩා කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තුවන බවත් ඒ සඳහා කණ්ඩායමට අවශ්‍ය සහය ලබදෙනා ලෙසත් දසුන් ශානක ප්‍රේක්ෂනයින්ගෙන් ඉල්ලා සිටියා.













