නත්තල් දින නිවාඩුව ගත කිරීම සඳහා සිය ඥාති නිවසකට පැමිණි තරුණයෙකුට ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් විසින් අමානුෂික අන්දමින් පහර දී තිබෙනවා.
අවිස්සාවේල්ල සිට හැටන් – දික්ඔය පොඩයිස් වතුයායේ පිහිටි සිය ඥාති නිවසට අද (25) අලුයම පැමිණි තරුණයෙකුටයි, මෙම පුද්ගල කණ්ඩායම විසින් මෙලෙස පහර දී ඇත්තේ.
සැකකරුවන් තරුණයාට පහර දී ඔහුව ත්‍රීරෝද රථයකට නංවාගෙන රැගෙන ගොස් පහර දී, යළිත් එම ත්‍රී රෝද රථයෙන් ම ගෙනැවිත් බිමට ඇද දා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අද අලුයම 5.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ හැටන් නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව ඉදිරිපිටදීයි.
මෙම පහර දීමට හේතුව වී ඇත්තේ, අදාළ තරුණයා සිය ඥාති නිවසේ සිට යළි අවිස්සාවේල්ල සිය රාජකාරි කටයුතු කරන මධ්‍යස්ථානය වෙත යාමට පැමිණි ත්‍රීරෝද රථයෙන් පොරොන්දු වූ කුලීරථ ගාස්තුව ඉක්මවා එම ගණන දෙගුණයක් කර ඉල්ලීමයි.
එනම්, කුලීරථ රියැදුරා සමග සිය ඥාති නිවසට ගොස් යළි එම රථයේම අවිස්සාවේල්ල බලා යාමට පැමිණ ඇත්තේ රුපියල් 600ක පොරොන්දු ත්‍රීරෝද කුලී රථ ගාස්තුවට ද එක්වෙමින්.
එහෙත් ගමනාන්තය අවසානයේ දී ත්‍රී රෝද රථ රියැදුරු විසින් 600ක මුදල ප්‍රමාණවත් නොවන බවත්, ගාස්තුව ලෙස රුපියල් 1800ක මුදලක් ලබාදෙන ලෙසත් මෙම තරුණයාට පවසා ඇති බවයි වාර්තා වන්නේ.
එම මුදල තරුණයා ලබා නොදීම හේතුවෙන් ඔහු පැමිණි ත්‍රීරෝද රථයේ රියැදුරා විසින් අසල ත්‍රී රෝද රථ රියැදුරන් සමග එක් වී තරුණයාව රථයට බලහත්කාරයෙන් ම නංවාගෙන ගොස් පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම පහර දීම අසල තිබූ සී.සී.ටී.වී.කැමරාවක ද සටහන් ව තිබුණේ මෙලෙසින්.
එහෙත් තරුණයා විසින් අදාළ හිරිහැරය හෝ පහරදීම සම්බන්ධයෙන් හැටන් පොලීසිය වෙත කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති අතර, ඒ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මෙතෙක් ආරම්භ වී නැති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.




