2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට, අවසර ලබාදීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට ස්තූතිය පළකර තිබෙනවා.
සිය නිල ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමිනුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ස්තූතිය පළකර ඇත්තේ.
අදාළ එක්ස් සටහන මඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, 1996 ලෝක කුසලාන තරඟාවලියේ දී ආරක්ෂක හේතූන් මත අනෙකුත් කණ්ඩායම් මෙරට දී ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවක ඉන්දියාව සහ පාකිස්ථානය පෙන්වූ සහයෝගීතාවය ශ්‍රී ලංකාවට අමතක නොමැති බවයි.
මේ අතර එළෙඹෙන 15 වනදා කොළඹ දී පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලමක් කර තිබුණා.
ඒ, ඊයේ (09) දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා අතර පැවති විශේෂ දුරකථන සංවාදයක දීයි.




