spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආයතන දෙකක් නිසා කෝපා කමිටුවේ කටයුතු අතරමග නවතී

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානමකින් තොරව කමිටුව හමුවට පැමිණීම පිළිබඳ කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ වී තිබෙනවා.

මෙම ආයතන සඳහා අප්‍රසාදය පළ කෙරුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමසීමේදී ඒ පිළිබඳ පිළිතුරු දීමට පැමිණි නිලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ සූදානමකින් තොරව මෙම නිලධාරීන් කාරක සභාවට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවයි.

විශේෂයෙන්ම රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් විමසීමට මෙම ආයතන කැඳවූ බවත් ඒ පිළිබඳ කිසිදු සූදානමක් නිලධාරීන් සතු නොවන බවත් මෙහිදී කෝපා කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

මේ නිසා කෝපා කමිටුව අතර මග නවතමින් මෙම ආයතන දෙක නැවත 2023 ඔක්තෝබර් 20 දින කෝපා කමිටුව හමුවට කැඳවීමටයි තීරණය කළේ.

කෝපා කමිටුවේ මෙවැනි සිදුවීමක් මෑත ඉතිහාසයේ සිදු වී නොමැති බවද මෙහිදී කෝපා කමිටුව සඳහන් කර තිබෙනවා.

මෙම නිලධාරීන් ලබාදෙන පිළිතුරු අනුව ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික සැලසුමක් නොමැති බවත් රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කර නොමැති බවත් පැහැදිලි වන බව කෝපා කමිටුව පෙන්වා දුන්නා. මේ හේතුවෙන් රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කණගාටුදායක් තත්ත්වයක් ඇති විය හැකි බවයි කමිටුව පෙන්වා දුන්නේ.

එසේම මෙහිදී කමිටුව විසින් පැමිණි නිලධාරීන්ගෙන් ඔලිම්පික් තරගාවලියේ පවතින තරඟ සංඛ්‍යාව පිළිබඳව විමසූ අතර ඒ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් ලබාදීමට ද පැමිණ සිටි නිලධාරීන් අපොහොසත් වූ බව සඳහන්. මේ අනුව මේ සම්බන්ධයෙන්ද කමිටුවේ කණගාටුව පළ කර තිබෙනවා.

එසේම ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, ආසියානු ක්‍රීඩා සහ දකුණු ආසියානු ක්‍රීඩා යන තරගාවලිවල ඇති තරග ඉසවු සහ ලංකාව මෙම තරඟාවලි වල සිටින ස්ථානය සහ ක්‍රීඩා කරන තරඟ ඉසව්වන් පිළිබඳවද කමිටුව විමසූ අතර මේ පිළිබඳව ද පැමිණ සිටි නිලධාරීන්ට පැහැදිලි පිළිතුරක් ලබාදීමට හැකිවී නැහැ.

එසේම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රීඩා ප්‍රභේද කොපමණ සංඛ්‍යාවක් පවතින්නේදැයි කමිටුව විමසා සිටි අතර ලියාපදිංචි ඒ ශ්‍රේණියේ ක්‍රීඩා 4ක්, බී ශ්‍රේණියේ ක්‍රීඩා 12ක්, සී ශ්‍රේණියේ ක්‍රීඩා 73ක් වශයෙන් ක්‍රීඩා පවතින බවයි පැමිණ සිටි නිලධාරීන් පැවසූවේ.

මෙහිදී මෙරට ජාතික වාර්තා පිහිටුවන ලද ක්‍රීඩා කොපමණ සංඛ්‍යාවක් පවතින්නේ දැයි කමිටුව විමසූ අතර මේ සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් පිළිතුරක් ලබා දිය නොහැකි බව පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළා. ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රීඩා සහ පසුගිය වසර 5 තුළ එම ක්‍රීඩාවලින් තබා ඇති වාර්තා පිළිබඳව ද කමිටුව විමසා සිටි අතර ඒ සඳහා ද නිශ්චිත පිළිතුරක් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වූ බව සඳහන්.

ලංකාවේ ජාතික ක්‍රීඩාව එල්ලේ ක්‍රීඩාවේ සිට වොලිබෝල් ක්‍රීඩාව දක්වා මාරුවීමේදී අනුගමනය කළ නිර්ණායක කවරේද යන්න කමිටුව විමසා සිටි අතර මේ සම්බන්ධයෙන්ද පැහැදිලි පිළිතුරක් නිලධාරීන්ගෙන් ලැබී නැහැ.

තවද විගණකාධිපති වාර්තා අනුව මිලියන 1500ක් පමණ වැයකර තිබූ ව්‍යාපෘති ඵලදායී ලෙස අවසන් නොකිරීම පිළිබඳව කමිටුව විමසා සිටි අතර මේ සම්බන්ධයෙන්ද සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොලැබුණ බැවින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබාදීමටයි කෝපා කමිටුව නිර්දේශ කළේ.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණයක් නොමැතිවීම නිසා පාසැල් මට්ටමින් බිහිවින ක්‍රීඩකයන් ජාතික මට්ටමට ගෙන ඒම සඳහා පැහැදිලි සැලැස්මක් නොමැති බවද මෙහිදී අනාවරණය වුණා.

තව ද දිස්ත්‍රික් ක්‍රීඩා කමිටු පිහිටුවීමට චක්‍රලේකය යවා ඇති බවට පැවසුව ද ඒ ඒ කමිටු පිහිටුවීම පිළිබඳ පසු විපරමක් නොකිරීම පිළිබඳවද මෙහිදී කෝපා කමිටුවේ අප්‍රසාදය පළ වී තිබෙනවා. එසේම ටොරින්ටන්හි ඉදිකළ හොකී ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

එසේම අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති ජාතික ක්‍රීඩා සභාව මගින් ඉටුවන කාර්යයන් පිළිබඳවද නිලධාරීන්ට අවබෝධයක් නොමැති බවයි මෙහිදී පැහැදිලි වූයේ.

එසේම අවසාන වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ ඇති ක්‍රීඩා තරඟාවලි පිළිබඳව සහ ඒවායේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ස්ථානය පිළිබඳව වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙස නිර්දේශ කළා. මෙම වාර්තාවේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති සම්බන්ධතාවය පෙන්වා දෙන ලෙස ද කෝපා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?