ආබාධ සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට අවධානය

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත් කරන ලද, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගියදා පළමු වරට රැස්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා, දිනේෂ් හේමන්ත සහ එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි යන අයගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මෙන්ම ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන සකස් කර භාවිත කිරීමේදී මුහුණ පාන ප්‍රායෝගික හා නෛතික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

මෙහිදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් සිදුකරන වෛද්‍ය පරීක්ෂණ, ආබාධිත තත්ත්වය අනුව ලබාදෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු වුණා.

විශේෂයෙන්, වෛද්‍ය පරීක්ෂණ දිස්ත්‍රික් මට්ටමින් ලබාදීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් සඳහා පෙනීමේ පරාසය ඇතුළු වෛද්‍ය නිර්ණායක සලකා බලමින් රියදුරු බලපත්‍ර ලබා දෙන වාහන වර්ග පුළුල් කිරීම,වාහනවලට ගැළපෙන ආරක්ෂිත උපකරණ සවි කිරීම සහ ඉදිරි ගැසට් සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී පවතින නීතිමය තත්ත්වය, විශේෂ සලකුණු භාවිතය සහ සංඥා භාෂා පරිවර්තකයන්ගේ සහාය පිළිබඳව ද සාකච්ඡා ලක් වුණා.

එමෙන්ම, ආබාධිත තත්ත්වයට ගැළපෙන පරිදි වාහන නවීකරණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද අවධානය යොමු වුණා.

එක් පුද්ගලයෙකුට වාහන කිහිපයක් සඳහා බලපත්‍ර ලබාදීම, වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේදය සරල කිරීම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර මාර්ගගත පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් වුණා.

ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන, ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණා.

මෙම රැස්වීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියා.