අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රශස්ත ලෙස යෙදවීමට ජනපතිගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස්

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ප්‍රාග්ධනය වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය මුදල් නියමිත පරිදි ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙන බවද සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන විස්තීර්ණ ණය පහසුකම තුළ පවතින සීමාවන් අනුව වැය කළ හැකි වන්නේ ජාතික නිෂ්පාදනයෙන් 13%ක් වැනි ප්‍රමාණයක් බවත්, එයින් අවම 4%ක්වත් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ යුතු බවවයි.

ඒ අනුව අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ ‘රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව’ යන පදනමින් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

රටේ ප්‍රධානම ආයෝජකයා රජය බව සඳහන් කළ ජනාධිපතිවරයා, ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,400ක් වෙන් කර තිබෙන බවත්, ඊට අමතරව දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දුන්නා.

අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟාකර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

2026 වසරට අදාළව අමාත්‍යාංශ මට්ටමින් සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව කරුණු ඉදිරිපත් කෙරුණා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද, අමාත්‍යාංශ ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?