අප්‍රේල් වන විට සහල් කිලෝව රු. 300ක් දක්වා ඉහළට

එළඹෙන අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රු. 300ක් දක්වා ඉහළ යනු ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති මුදිත් පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පොහොර හිඟය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි මේ වන විට ත් සහල් නිෂ්පාදකයන් වෙත වී තොග නොලැබීම ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් උදාවීමට හේතුව වන බව ය.

වෙන ත් වසරවල මහ කන්නයේදී මෙම කාලය වන විට මෝල් හිමියන් වෙත වී තොග ලැබී තිබුණු බව ඔහු පැවසී ය.

නමුත් පොහොර ගැටලුව ත් සමග ගොවියන් මෙවර මහ කන්නයේ වගා කිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් මෝල් වෙත මෙතෙක් නව වී තොග ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම හේතු සලකා බැලීමේදී එළඹෙන මාසය වන විට රට තුළ විශාල සහල් හිඟයක් ඇති විය හැකි යැයි එම සභාපතිවරයා අනතුරු ඇඟවී ය.

එමෙන් ම ඒ හේතුවෙන් ඉදිරියේදී සහල් පෝලිම් ද ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

එබැවින් මෙම පොහොර අර්බුදය හේතුවෙන් මහ කන්නයේදී අඩු වන වී අස්වැන්න පිළිබඳව වහා ම ගණනය කර ආරක්ෂිත සහල් තොගයක් ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩාවල තබාගන්නැයි ඔහු යෝජනා කළේ ය.

තව ද ඔහු සඳහන් කළේ, මෙම වසර තුළ සහල් මෙ.ටො. 8ක් හෝ 10ක් ආනයනය කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇති බව ය.

වී කිලෝවක් රු. 75ක මිලකට ගොවියාට ලබා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණ ද මේ වසර තුළ ආණ්ඩුවට එම මිලට වී මිල දී ගැනීමට හැකිවේ යැයි තමා විශ්වාස නොකරන බව ද එම සභාපතිවරයා සඳහන් කළේ ය.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, අද වන විට පුද්ගලික අංශයෙන් රු.95ක මිලකට වී මිලදී ගැනීම සහ ප්‍රමාණවත් පරිදි වී තොග නොලැබිම හේතුවෙන් තවදුරට ත් මිල ඉහළ යා හැකි වීම ය.

ඔහු සඳහන් කළේ, එබැවින් ඉදිරි දින කිහිපය තුළ වී මිල රු.120 දක්වා ඉහළ යනු ඇති බව ය.

දැනට වෙළෙඳපොළේ රු.165 -170ත් අතර පවතින නාඩු සහල්වල තොග මිල අලුත් අවුරුදු සමය වන විට තව ත් රු. 20-25ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව, සහල් මිල රු. 300 දක්වා පමණ ඉහළ යනු හැකි බව ඔහු අවධාරණය කළේ ය.

වසංගත සමයකින් පසු ආහාර අර්බුදයක් ඇති විය හැකි වුව ද මෙරට තුළ මේ ඇතිවෙමින් පවතින තත්ත්වය ආණ්ඩුව ”අඬගසා ගෙන්වා ගත් තත්ත්වයක්” යැයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?