මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු තණමල්විල දී තරුණයන් පිරිසක් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ විමර්ශනයක දී මෙම සැකකරුව ගම්වාසී තරුණයින් පිරිසක් එක් ව අල්ලා නීතියේ රැහැනට හසුකර දුන් බවයි.
මෙම සැකකරු විසින් තණමල්විල – දාහත හමාර ප්‍රදේශයේ දී යතුරුපැදියක් සොරකම් කිරීමට උත්සාහ දරා තිබෙනවා.
එම අවස්ථාවේ දී තරුණයන් පිරිසක් මෙම සැකකරු අල්ලාගෙන ඇති බවයි පැවසෙන්නේ.
එලෙස අල්ලා ගත් සැකකරු තණමල්විල පොලිසියට භාර දී ඇති අතර පසුව පොලිසිය සිදු කළ විමර්ශනයක දී මෙම සැකකරු දිවයිනේ ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ද සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද යතුරුපැදියක් ද තිබී සොයා ගැනුණා.
එහි ඉදිරිපස හා පිටුපස වර්ග දෙකක අංක තහඩු සවිකර තිබී ඇති බවත් හෙළි ව තිබෙනවා.
සැකකරුට මීනීමැරුම් චෝදනා දෙකක්, කොල්ලකෑම් චෝදනා 17ක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් 38 හැවිරිදි වියෙහි පසුවන සැකකරු මැදමුලන ප්‍රදේශයේ වෙසෙන්නෙක් බවත් පොලිසිය පවසනවා.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.





