අක්කර 05ට අඩු පොල් ඉඩම් සංවර්ධනය සඳහා මිලියන 2,500ක්

කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පොල් වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, 2026 වර්ෂය සඳහා අක්කර පහට අඩු පොල් ඉඩම් සංවර්ධනය කිරීමේ විශේෂ සහනාධාර වැඩසටහනක් පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා.

“කප්තුරු සවිය” වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා රජය රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන්කර තිබෙනවා.

පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම සහ වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ වගාව ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණු වනවා.

මෙම වැඩසටහන යටතේ පොහොර යොදා වසුන් කිරීම මගින් පොල් ඉඩම් අක්කර 33,640ක්ද, ඩොලමයිට් යොදා වසුන් කිරීම මගින් අක්කර 40,750ක්ද සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව, ජල සම්පාදන පද්ධති ස්ථාපනය කිරීම මගින් තවත් පොල් ඉඩම් අක්කර 9,000ක් සංවර්ධනය කිරීමට අපේක්ෂිතයි.

සහනාධාර වැඩසටහන යටතේ පොල් වගාකරුවන්ට ප්‍රධාන අංශ තුනක් ඔස්සේ මූල්‍ය ප්‍රතිලාභ හිමිවනවා.

ඒ අනුව, වැඩුණු පොල් වගාව සඳහා පොහොර යොදා වසුන් කිරීමේදී එක් පොල් ගසකට රුපියල් 700 බැගින් අක්කරයකට උපරිම රුපියල් 44,000ක සහනාධාරයක්ද, ඩොලමයිට් යොදා වසුන් කිරීමේදී එක් පොල් ගසකට රුපියල් 200 බැගින් අක්කරයකට උපරිම රුපියල් 12,800ක සහනාධාරයක්ද ලබා දෙනවා.

ජල සම්පාදන පද්ධති ස්ථාපනය කිරීම වෙනුවෙන් අක්කරයකට රුපියල් 50,000ක සහනාධාරයක් හිමිවනවා.

ඒ අනුව, අදාළ සහනාධාර අංශ තුන සඳහාම සුදුසුකම් ලබන වගාකරුවකුට එක් අක්කරයක් වෙනුවෙන් උපරිම රුපියල් 94,000ක සහනාධාරයක් ලබාගත හැකියි.

පොල් වගාකරුවන්ට අවශ්‍ය පොල් පොහොර සහ ඩොලමයිට් සහනදායී මිලකට දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබාගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම වැඩසටහන මගින් කුඩා පරිමාණ පොල් වගාකරුවන්ට සිය ඉඩම් විධිමත්ව නඩත්තු කරමින් පොල් ගස්වල වර්ධනය හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත්, පවතින දේශගුණික බලපෑම් හමුවේ පොල් වගාව සුරක්ෂිත කර ගැනීමටත් අවස්ථාව සැලසෙනවා.

මෙම සහනාධාර වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට කැමති සුදුසුකම්ලත් පොල් වගාකරුවන්ට තම ප්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරීවරයා (CDO) හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානය අමතා වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එසේම, 1916 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව රජය පවසනවා.