ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 36ක් සහ සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට

තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටොරියා ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් වටලා ඊයේ (05) රාත්‍රියේ පොලිසිය විසින් වටලා තිබෙනවා.

තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 36 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 21 ත් 40 ත් අතර වයස්වල පසුවන ගෙලිඔය, අළුත්වත්ත, වරකාපොළ, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර, හඟුරන්කෙත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියන් අවුරුදු 22ත් 43ත් අතර වයස්වල පසුවන පල්ලේකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වුණේ.

මෙම වැටලීම් දී ගංජා මිලිග්‍රෑම් 947ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 657ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 276ක්, මත්පෙති 18ක්, නීති විරෝධී දුම්වැටි 21ක්, බියර් මිලි ලීටර් 500 කෑන් 35ක්, රජයේ අරක්කු මිලි ලීටර් 750 බෝතල් 13ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.