නාවික හමුදා මැරීන් බළකායේ දසවන (10) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙක් සහ නාවිකයින් තිස් තුන්දෙනෙක් වෙත ලාංඡන පැළඳවීම, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු හරිස්චන්ද්‍රගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන්, අද (29) ත්‍රීකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී සිදු කෙරුණා.
ඒ අනුව, මාස අටක් පුරා පැවැත්වූ අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වූ නාවික හමුදා පුද්ගලයින් තිස් හයදෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමකින් ආරම්භ කළ දසවන (10) බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව, සාර්ථකව අවසන් කළ නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු (33) වෙත මෙලෙස මැරීන් බළඇණි ලාංඡන පැළඳවීම, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, විසින් සිදු කළා.
පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික හමුදා පුද්ගලයන් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. එහිදී, දසවන මැරීන් බළඇණි පාඨමාලාවේ විශිෂ්ඨතම මැරීන් සාමාජිකයා ලෙස සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා හා දක්‍ෂතම ඉලක්කකරු වශයෙන් ලුතිනන් (සැ) විපීඒ සසංක විසින් කුසලාන හිමිකර ගත් අතර, දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයාට හිමි කුසලානය ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ජීඩිපී බණ්ඩාර හිමිකර ගන්නා ලදී.
කුසලාන ප්‍රධානයෙන් අනතුරුව, සාර්ථකව පුහුණුව අවසන් කළ නාවික හමුදා පුද්ගලයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, විසිර යන ලද නාවික හමුදා පුද්ගලයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංසන පිරිනමන ලදි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, පුහුණුවෙන් ලද පන්නරය තුලින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමට දායක වන ලෙසත්, රාජකාරි දිවියේදී මෙන්ම පෞද්ගලික දිවියේදීද ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට මෙම පුහුණුව උපයෝගි කර ගන්නා ලෙසත්, මව්බිමට එරෙහිව නැගෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමට සුදානම් විය යුතු බව සහ සෑම විටම දැනුම හා පුහුණුව යාවත්කාලීන කර ගනිමින් නිරන්තර අවධානයෙන් රාජකාරි කළ යුතු බවත් අවධාරනය කරනු ලැබුවා.
එමෙන්ම, පුහුණුව සාර්ථකව සම්පූර්ණ කිරීම සඳහා දායක වු ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලය වෙත සිය ප්‍රනාමය ඵල කිරීමද, එහිදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් සිදු කෙරුණා.
තවද, මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව, නාවික හමුදා මැරීන් බලකායේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් විදහා දැක්වෙන ආකර්ෂණීය සංදර්ශනයකින් ද වර්ණවත් වූ අතර, එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් අචල සිල්වා, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් කුසල් දිසානායක, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු සංජීව කොඩිකාර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, යුද හා ගුවන් හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම, විසිර යන ලද නාවික හමුදා පුද්ගලයින්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගි වී සිටියා.













