Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සකී දුව ගෙන ආ හෙරොයින් කිලෝ 2420යේ නඩුවට හරක් කටාට නියෝගයක්

හෙරොයින් කිලෝ 2420ක් සකී දුව නැමැති බහු දින යාත්‍රාවකින් රැගෙනවිත් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම ඇතුළු චෝදනා 28ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවෙකු වන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා ලබන ජනවාරි 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක අද (19) නියෝග කළා.

එකී චෝදනා යටතේ බහු දින යාත්‍රා හිමිකරුවකු වන චරිත් සඳකැලුම් හෙවත් රන්මල්ලි , නදුන් චින්තක වික්‍රමරත්න ඇතුළු තවත් ධීවරයෙන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2021 /06/ 13 දින ලැබුණු රහසිගත තොරතුරක් මත මිරිස්ස මුහුදු ප්‍රදේශයේ වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන් හා මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමග එකී ධීවරයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී බහුජනීයාත්‍රාවේ හිමිකරුද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබූ අතර ඒ වන විට සැඟව සිටි නදුන් චින්තක වික්‍රමරත්න නමැත්තා මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට වෙන්වීමට පියවර ගෙන තිබූ බවද අනාවරණය වී තිබෙනවා.

එකී ධීවරයන් හය දෙනා ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව 2020. 10.16 වැනිදා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබුණා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ සමදරි පියසේන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ අකිලා උදයංගනී අටවන විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටියා.