මෙරට පාපන්දු ක්රීඩාව සංවර්ධනය කිරීම සඳහා ඉදිරි වසර හතර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක මූල්ය සහායක් ජාත්යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ලබාගැනීමට අපේක්ෂා කරන බව ක්රීඩා අමාත්යාංශය සඳහන් කරනවා.
ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සහ ශ්රී ලංකාවේ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් පසුගිය 26 වැනිදා අසර්බයිජානයේ බකු නගරයේදී පැවැති අතර, එහිදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව ජාතික හා ජාත්යන්තර මට්ටමින් සංවර්ධනය කිරීම, ක්රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
ජාතික පාපන්දු කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් සංවර්ධනය කිරීම වෙනුවෙන් FIFA ආයතනය ලබාදෙන සහාය පිළිබඳව අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා ශ්රී ලංකා රජයේ කෘතඥතාව පළ කළේය. පසුගිය වසර දෙක තුළ මෙරට පාපන්දු ක්රීඩාව අත්කරගෙන ඇති ප්රගතිය පිළිබඳව ද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළා.
ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා FIFA සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනය සමඟ සමීපව කටයුතු කිරීමට රජය කැපවී සිටින බව ද අමාත්යවරයා සඳහන් කර තිබෙනවා.
මෙහිදී ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල නවීන පාපන්දු ක්රීඩාංගණයක් ඉදිකිරීම සහ මෙරට ක්රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු වුණා.
ඉදිරි වසර හතර සඳහා වන සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ජාතික හා යොවුන් පාපන්දු කණ්ඩායම්, කාන්තා පාපන්දු ක්රීඩාව මෙන්ම පුහුණුකරුවන්ගේ සහ විනිසුරුවන්ගේ දක්ෂතා සංවර්ධනය කිරීම ද අරමුණු කර තිබෙනවා.
ශ්රී ලංකාවේ සෑම දිස්ත්රික්කයකම පාපන්දු ක්රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ක්රීඩා අමාත්යාංශය සඳහන් කරයි. ඒ තුළින් දරුවන්ට සහ තරුණ තරුණියන්ට පාපන්දු ක්රීඩාවට වැඩි ප්රවේශයක් ලබාදීමත්, දක්ෂතා සහිත ක්රීඩක ක්රීඩිකාවන්ට සිය හැකියාවන් වර්ධනය කරගැනීමට අවස්ථා සැලසීමත් අපේක්ෂා කෙරෙනවා.
මීට අමතරව, 2031 වසර අවසන් වන විට ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග් හරහා පාපන්දු ක්රීඩාංගණ 40කට ආසන්න සංඛ්යාවක් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ තුළින් පාපන්දු ක්රීඩාව රට පුරා ව්යාප්ත කිරීම, ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සහ පුහුණුකරුවන්ගේ හා විනිසුරුවන්ගේ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරෙනවා.
ශ්රී ලංකා රජය, FIFA සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් පාපන්දු ක්රීඩාව මෙරට ප්රචලිත කිරීම සහ ජාත්යන්තර තලයේ ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව ඉහළට ඔසවා තැබීම මෙම සංවර්ධන වැඩපිළිවෙළේ ප්රධාන අරමුණයි.










