වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ලෙන් මියගිය දරුවාට සාධාරණය ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

හම්දි පස්ලීම් නැමැති අවුරුදු 2. මාස අටක් දරුවෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සැත්කමකදී වකුගඩු දෙකම ඉවත් කිරීම නිසා ජීවිතක්ෂයට පත්වු දරුවෙකුට සාධාරණයක් ඉෂ්ඨ කරන ලෙස ඔහුගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද විරෝධතාවයක නිරතවුණා.

තම දරුවාට සාධාරණයක් පසුගිය අවුරුදු තුනක කාලය තුළ සිදුවී නැති බවට චෝදනා කරමින් එම දරුවාගේ දෙමව්පියන් , තම දරුවාට සාධාරණයක් යුක්තියක් ඉටුකරදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවක නිරතවු බවට වාර්තාවෙනවා.

එම දරුවාගේ දෙමාපියන් ප්‍රකාශ කළේ දැනට අවුරුදු තුනක් වෙලත් ළමයාට යුක්තිය ඉටුවී නොමැති බවයි . මෙම ආණ්ඩුව පත්වී මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙයි යැයි විශ්වාස කළත් මෙම ආණ්ඩුවෙනුත් එම යුක්තිය ඉටු නොවුණු බව දෙමාපියන් චෝදනා කළා. ඒ නිසා ඉතා ඉක්මනින් දරුවාට යුක්තිය ඉෂ්ඨකර දෙන මෙන් ඔවුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

එම විරෝධතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් ද එකතු වුණා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන්,

වකුගඩුවක ඇති උන ප්‍රශ්නයක් නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමකදි වෛද්‍යවරයා විසින් වකුගඩු දෙකම ඉවත් කරලා තියෙනබවත්, මේ සම්බන්ධව අධිකරණයේ නඩු කටයුත්තකුත් පවතින අතර, දැනට අවුරුදු තුනහමාරකට ඉස්සෙල්ලා මේ දරුවාගේ දෙමව්පියන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත පැමිණිලි කළ බවත් ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරලා වාර්තාවක් දෙනවා කියලා ඔහු පොරොන්දු වු නමුත් මේ වනතුරු වාර්තාව දීලා නැති බවත්, 2023 රමේෂ් පතිරණ අමාත්‍යවරයා ඉන්න කාලේ තමන් එම වාර්තාව පාර්ලිමේන්තුවේදි ඉල්ලුවද එය ලබානොදුන් බවටත් මුජිබුර් රහ්මාන් වැඩිදුරටත් කියයි.

ඒ වගේම දැන් මේ ආණ්ඩුවෙනුත් එම වාර්තාව ලබා දීලා නැති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා, අදාළ සැත්කම් කරපු වෛද්‍යවරුත් ලංකාවේ නොමැති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය හිතා මතාම එම වාර්තාව ලබාදීම මගහරින බවටත් චෝදනා කරනවා.

විරෝධතාවයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ පෞද්ගලික ලේකම් හමුවී පෙත්සමක් භාරදුන් බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නාබවට ඔහු පොරොන්දු වු බවටත් මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.