මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ අවධානය

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වුණා.

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක්ව ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සාකච්ඡාවට ලක් වුණා.

සමස්ත සමාජ දේහයම බිඳ දමමින්, රටේ අනාගත පරපුර ගොදුරු කර ගනිමින් සිටින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බවද සඳහන් කළා.

මෙම ජාතික ව්‍යසනයේ ගැඹුර අවබෝධ කර ගනිමින් ආයතනික පද්ධතිය තුළ සිදු කළ යුතු පරිවර්තනය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් සකස් කර අවසන් අදියරේ පවතින අතර, එය කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් කෙරුණා.

මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට හේතු වූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබෙන බවත්, පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර තිබෙන බවත් සඳහන් වුණා.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා බන්ධනාගාරගතව සිටින පිරිස්වලට අදාළ නීතිමය කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් , අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව (ග්‍රෑම් 5ට අඩු, 10ට අඩු ආදී වශයෙන්) නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙසත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර, වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට විධිමත් ක්‍රියාවලියක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීමේ සහ එහි පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීම සිදු කෙරෙන බව සඳහන් කෙරිණි. ආරක්ෂිත කැමරා පද්ධතිය සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

බන්ධනාගාරවල මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණය කෙරුණා.

බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා වුණා.

එසේම 2007 අංක 54 දරණ පුනරුත්ථාපන පනත සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා, විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවා.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව ක්‍රියාත්මක කරන ‘මිතුරු පාසල’ වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එහිදී සිසුන්ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත්, මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට මඟපෙන්වීම පිළිබඳව ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් පුහුණු කිරීම සිදු කෙරන බවත් සඳහන් කෙරුණා.

මත්ද්‍රව්‍ය අවදානම වැඩි සහ ජනගහන ඝනත්වය වැඩි ප්‍රදේශවල පාසල් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නා.

ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් අතර විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳව ජාතික සභාවේ විශේෂ අවධානය යොමු වුණා.

දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකව පරීක්ෂා කිරීමට හැකි වන ලෙස මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධ සැල් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, දෙමාපියන් දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවීමේ වැදගත්කමත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරුණා.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මත්ද්‍රව්‍යවලට එරෙහි මතවාදය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාවද සාකච්ඡා වුණා.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ “ප්‍රජාශක්ති” වැඩසටහන එක්ව මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම, මුල් අවදියේම හඳුනා ගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම්, නැවත ඇබ්බැහිවීම සහ පසු විපරම් කිරීම, සැලසුම් නියාමනය සහ සමලෝචනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපාය මාර්ගික සැලැස්මට අනුව ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40