Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බෙංගාල බොක්ක මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වෙත දැඩි අවදානමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙන නිවේදනයකට අනුව, හෙට (14) පෙරවරු 5.30 සිට නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 05ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ වගේම කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබෙනවා.

දැනටමත් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.

එමෙන්ම, නොවැම්බර් 16 වැනිදා පමණ වන විට එය මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.