බිම්ස්ටෙක් මහලේකම්වරයා ප්රමුඛ සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවී තිබෙනවා.
මෙරටදී පැවැත්වෙන ප්‍රථම බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සමගාමීව අද (10) පෙරවරුවේ පැවැති බිම්ස්ටෙක් සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රථම හමුවෙන් අනතුරුව, එම සංවිධානයේ මහලේකම් ඉන්ද්‍ර මනී පාණ්ඩේ ප්රමුඛ සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවුණා.
මෙම හමුව අද (10) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙහිදී අමාත්‍යවරයා සහ බිම්ස්ටෙක් මහලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිස අතර සුහද අදහස් හුවමාරුවක් සිදු වූ අතර, සාමාජික රටවල සෞඛ්‍ය සේවා පද්ධතිවල ක්‍රියාකාරීත්වය, සෞඛ්‍ය ක්ෂේත්රයේ අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම මෙන්ම කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
බෙංගාල බොක්ක ආශ්රිත රටවල් අතර බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ කලාපීය සංවිධානය වන බිම්ස්ටෙක්හි මහජන සෞඛ්‍ය සහයෝගීතාව පිළිබඳ ප්රමුඛ රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරනවා.
ඒ අනුව, කලාපීය සෞඛ්‍ය අභියෝගවලට සාමූහිකව මුහුණදීම, සාමාජික රටවල් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ප්‍රථම බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව හෙට (11) පෙරවරුවේ කොළඹදී ආරම්භ වීමට නියමිතයි.
මෙම හමුව සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් බිම්ස්ටෙක් මහලේකම් තානාපති ඉන්ද්‍ර මනී පාණ්ඩේ වෙත සමරු තිළිණයක් ද ප්රදානය කළා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සහ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ් යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, බිම්ස්ටෙක් සෙසු සාමාජික රටවල් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද එක්ව සිටියා.
