Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පාප මිතුරන් අතින් අවසන් ගමන් ගිය දුෂ්මන්තගේ නිසල සිරුර ගොඩගනී

මහනුවර, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි දුෂ්මන්ත සඳරුවන් වෘත්තියමය වශයෙන් බෙර වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කළ අයෙක්.

ඔහු පසුගිය 23 වැනිදා සිය නිවසෙන් පිටත්ව ගොස් ඇත්තේ, කඨින පිංකමකට සහභාගී වීම සඳහා කැස්බෑව ප්‍රදේශයේ සිටින මංජු නැමැති මිතුරෙකු හමුවීමට යන බවට සිය බිරිඳට පවසමිනුයි.

එලෙස පිටත්ව ගිය සිය සැමියා සම්බන්ධයෙන්, පසුදින සවස් වෙනතෙක් කිසිඳු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ නිසා දුෂ්මන්තගේ බිරිඳ විසින් පසුගිය 24 වනදා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.

එමෙන්ම කැස්බෑව ප්‍රදේශයේ පදිංචි සිය සැමියාගේ මිතුරා වූ මංජු නම් පුද්ගලයා හමුවීමට ද දුෂ්මන්තගේ බිරිඳ ගොස් තිබුණා.

එහිදී අදාළ මංජු නැමැත්තා පවසා ඇත්තේ, දුෂ්මන්ත ඔහු හමුවීමට එහි නොපැමිණි බවයි.

පසුව, ඒ සම්බන්ධයෙන් ද බිරිඳ විසින් කැස්බෑව පොලිසිය වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අතරතුර දුෂ්මන්තගේ බිරිඳට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුණේ රුපියල් 120,000ක මුදලක් ගිණුම්ගත කළහොත් දුෂ්මන්තව නිදහස් කරන බව පවසමිනුයි.

ඒ අනුව, කැස්බෑව පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, කැස්බෑව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත ඔත්තුවක් මත, අතුරුදන්ව සිටින දුෂ්මන්ත සඳරුවන් නැමැත්තා ඝාතනය කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

සිදු කරනු ලැබූ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා පසුගිය 23 වැනිදා උදෑසන කාලයේදී කැස්බෑව ප්‍රදේශයේ දී මංජු නමැති පුද්ගලයා හමුව ඇති බවත්, පසුව මංජු නැමැත්තා සහ තවත් දෙදෙනෙක් විසින් ඔහුව හෙරළියාවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් පිටුපස කාමරයකට රැගෙන ගොස් ඝාතනය කර ඇති බවයි.

පසුව එම දේවාලය පිහිටි භුමියට නුදුරේ, ඇල ඉවුරක දුෂ්මන්තගේ සිරුර වළදමා ඇති බවත් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව, පොලිසිය විසින් මෙම ඝාතනය මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන මංජු නැමැත්තාත්, ඝාතනයට සම්බන්ධ වූ දේවාලය භාර කපුවා සහ අනෙක් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුෂ්මන්තගේ නිසල සිරුරද අද (29) ගොඩගැනීමට පොලිසිය කටයුතු කළා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඔහුන් රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.